Monday, April 21, 2025
Home » අඩුපාඩු නිමක් නැති අහුංගල්ලේ ‘සත්කාරක පුරවරය’

අඩුපාඩු නිමක් නැති අහුංගල්ලේ ‘සත්කාරක පුරවරය’

by sachintha
March 4, 2025 4:14 pm 0 comment

සත්කාරක පුරවරය ලෙසින් විරුදාවලිය ලත් ලොවම පිළිගත් තරු පහේ සංචාරක හෝටල දෙකක් ඇතුළු හෝටල් ගණනාවකින් සමන්විත අහුන්ගල්ල නගරය අඩුපාඩුවලින් පිරී පවතින බව ජනතාව පවසති.

දෙවන පැරකුම් රජ සමයේ දේව පතිරාජ ඇමැතිතුමාගේ අශ්ව සේනාව ගාල් කළ හෙයින් අසුන්ගාල අසුන්ගල්ල වී අහුන්ගල්ල වූ බව ඉතිහාසයේ සඳහන් වන්නකි.

අද රාජ්‍ය ආයතන ගණනාවක් පිහිටි සංචාරකයන්ගේ පාරාදීසියක් වන අහුන්ගල්ලේ අඩුපාඩු සපුරා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

මේ පිළිබඳව අදහස් දැක් වූ අහුන්ගල්ල මරදාන ශ්‍රී පුලිනතලාරාමාධිපති අමරපුර නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක වැලිතර අමරනන්ද නාහිමියෝ මෙසේ පැවසූහ.

අහුන්ගල්ල නගරය සංවර්ධනය වීමට නම් මාර්ග පද්ධතිය සංවර්ධනය විය යුතුයි. එගොඩමුල්ලේ සිට වතුරෙගම දක්වා ගාලු පාර මංතීරු හතරකින්ද, අහුන්ගල්ල හන්දියේ සිට ඌරගහ පාරේ තුන්මුල්ල හන්දිය දක්වා මංතීරු දෙකකින් සංවර්ධනය කරදෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීම අනුව ඒ මහතා මුදල් වෙන්කර දී අවශ්‍ය පියවර ගත්තා. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇවිත් සාකච්ඡා කර සැලසුම් පවා සකස් කළා. නමුත් අපේ අවාසනාවට අරගලය ඇවිත් ඒ සියල්ල විනාශ වුණා.

ගාල්ල දෙසට යන මගීන්ට වැස්සට ඉන්න බස් මගී ආවරණයක් නැහැ. කඩපිල්වල ඉන්න සිදුවෙලා.

බළපිටිය සිද්ධාර්ථ ජාතික පාසලේ 12 වන ශ්‍රේණි‍ෙය් ඉගෙනුම ලබන අහුන්ගල්ල මාකුඹුර පදිංචි චමිදු ඉෂාන් අනුරාධ සිසුවා මෙසේ කීය. අහුන්ගල්ල පුස්තකාලයේ අඩුපාඩු ගොඩක් තිබෙනවා. අලුත හදපු ගොඩනැඟිල්ල නිසි නඩත්තුවක් නැතිකමින් විනාශ වෙනවා. පුස්තකාලයේ ප්‍රධාන දොර ගැලවී පැත්තකට දමා මාස ගණනාවක් වෙනවා. තවමත් පිළිසකර කරලා නැහැ. ඇලුමිනියම් ප්‍රේම්වලින් හදපු ජනෙල් වැඩි ප්‍රමාණයක් කැඩී වැටෙමින් තිබෙනවා. සමහර ජනෙල් වහන්න බැහැ. වැහි පීලි කඩා වැටෙනවා. ඇතුළේ තිබෙන විදුලි පංකාවලින් දෙකක් හැර අන් සියල්ලම අක්‍රියයි. ඇතැම් ඒවා ගලවා දමා තිබෙනවා. නාම පුවරුවක් නැහැ. තිබෙන පුවරුවේ නම මැකිල ගිහින්. පුස්තකාලය තිබෙන්නේ ගොඩනැඟිල්ලේ උඩු මහලේ. ආබාධිත අයකුට හෝ වැඩිහිටියකුට පත්තරයක්වත් බලන්න යන්න බැරි වී තිබෙනවා.

විශ්‍රාමිකයකු වන අහුන්ගල්ල මරදානේ පදිංචි එස්. නීල් ශාන්ත ද සිල්වා මහතා මෙසේ කීය. සංචාරකයෝ වැඩි පිරිසක් දුම්රියෙන් ගමන් කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. අනුරාධපුර සහ නුවර බලා යන්න දුම්රිය ගැන විමසනවා. උප දුම්රිය පොළක්ව පැවති අහුන්ගල්ල දුම්රිය පොළ ප්‍රධාන ස්ථානයක් බවට පත්කර මහනුවර, අනුරාධපුරය සහ යාපනය දක්වා ධාවනය කරන දුම්රිය ඇතුළු සීඝ්‍රගාමී දුම්රිය සියල්ල මෙහි නතර කරන ලෙස ඉල්ලා සිටිනවා.

බළපිටිය ප්‍රාදේශීය සභාවෙන් පාලනය වන පෙර පාසල් වතුගෙදර, කන්දෙගොඩ, බළපිටියේ සහ කොස්ගොඩ තිබෙනවා. නමුත් අහුන්ගල්ල නගරයට පෙර පාසලක් ලබාදීමට ප්‍රාදේශීය සභාවට බැරි වී තිබෙනවා. ප්‍රාදේශීය සභාවට වැඩිම ආදායමක් ලබා දෙන්නේ අහුන්ගල්ලෙන්. නමුත් කරන සැලකිල්ල නම් බොහොම අඩුයි.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඇම්.ඩබ්ලිව්. සෙනරත් මහතා මෙසේ කීය.

අහුන්ගල්ල තැපැල් කාර්යාලය අතීතයේ සිට පැවත එන්නේ කුලී ස්ථානවලයි. දැනටත් පවත්වාගෙන යන්නේ අහුන්ගල්ල පුස්තකාල ගොඩනැඟිල්ලේ බිම් මහලේ. මේ සඳහා ඉඩමක් පවා වෙන්කර තිබෙනවා. අලුත් රජයෙන්වත් තැපැල් කාර්යාලයට ගොඩනැඟිල්ලක් හදා දෙන ලෙස ඉල්ලා සිටිනවා. පුස්තකාල ගොඩනැඟිල්ල පිහිටි භූමියේ වැසී ගිය පාසල් ගොඩනැඟිල්ලක් තිබෙනවා. එය කැලෑවෙන් වැසී විනාශ වෙනවා. එය පොලීසියට පවරා දුන්නේ පොලීසිය ඉදිකිරීමටයි. දැන් ගාලු පාරේ අලුතෙන් පොලීසිය හැදුවත් මේ ගොඩනැඟිල්ල පොලීසියෙන් නිදහස් කර දෙන්නේ නැහැ. ඒ ගොඩනැඟිල්ල අලුත්වැඩියා කර ගතහොත් තැපැල් කාර්යාලය පවත්වා ගෙන යන්න පුළුවන්.

අහුන්ගල්ලට නිසි කානු පද්ධතියක් නැහැ. ඌරගහ මාර්ගය දෙපස කානු පද්ධතියක් තිබුණත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් පාර කාපට් කරද්දී දෙපස තිබූ කානු වසා දැම්මා. දැන් සෑම විටම පාරවල් වතුරෙන් යටවෙනවා. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හසාරා ලියනගේ මහත්මිය බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී බළපිටිය කොට්ඨාසයේ අඩුපාඩු පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

අහුන්ගල්ල සමූහ – අනුර යසමිත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT