පොල්ගස කප්රුක ලෙස හැඳින්වීමට අප හුරුවී සිටින නමුත් නිසි ලෙස ප්‍රයෝජන ගන්නවා නම් කිතුල් ගස ද ඊට නොදෙවැනි කප්රුකක් බවද සැලකිය හැකිය. එසේ වුවද අතීතයේ සිට පවතින කිතුල් කර්මාන්තයට මේ වන විට එල්ලවී ඇති විවිධ ගැටලු හේතුවෙන් තවදුරටත් කිතුල් පැණි, හකුරු කර්මාන්තය කරගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද කන්දකැටිය උදේනිගම හා තලාකුඹුර ප්‍රදේශයන්හි කිතුල් කර්මාන්තකරුවෝ පවසති.
කිසිදු වෙහෙසකින් හෝ බෙහෙත්, පොහොර යෙදීමකින් තොරව ඉබේ වැවෙන කිතුල් ගස් සිය ගණනින් ගම්වල ඇති අතර කිතුල් පැණි, හකුරු කර්මාන්තය අතීතයේ සිටම බොහෝ ගම්බද පවුල්වල ජීවනෝපායක් ලෙස පැවැතිණි. පැරැන්නෝ එමඟින් පෝෂණීය හා ඖෂධීය කිතුල් පැණි හකුරු හා කිතුල් පිටිද එමඟින් විවිධ කෑම හා රසකැවිලි වර්ග ද ඇතැම් විට වෙනත් මත්පැන් මෙන් සිරුරට අහිතකර නොවූ ස්වභාවික කිතුල් රා ද නිපදවාගෙන කිතුල් ගස මෝරා ගිය පසු ගසේ කඳෙන් විවිධ කටයුතු සඳහා සුදුසු වූ ඉතා ශක්තිමත් කිතුල් ලීද සකසා ගනිමින් මේ කප්රුකෙන් ප්‍රයෝජන රාශියක් ලබා ගත්හ.
එහෙත් මේ වන විට ගම්බදව ඇති කිතුල් ගස් බහුතරයක් මල් පීදී හැලී ගොස් ගසද මෝරා මැරී දිරාපත්ව වැටී යනතෙක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා ඇති අයුරු දැකගත හැකිය. අද වන විටත් මෙම කර්මාන්තයේ යෙදෙන අතළොස්සක් වූ මල් මදින්නන් ඇතැමෙක් තම පාවිච්චිය සඳහා කිතුල් රා යම් ප්‍රමාණයක් සාදාගන්නා නමුත් බොහෝදෙනා කිතුල් තෙලිජ්ජ යොදාගන්නේ සිය නිෙවසේ භාවිතයට හා පවුලේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම උදෙසා පැණි හකුරු සෑදීමටයි.
එහෙත් පෙර නොවූ අයුරින් මේ වන විට සෑම ප්‍රදේශයකම පාහේ විශාල ව්‍යසනයක් බවට පත්ව ඇති වන සත්ත්ව උවදුර මෙන්ම නීතිමය බාධා හේතුවෙන් මෙම කර්මාන්තය අත්හැර දැමීමට සිදුව ඇතැයි පවසන ඔවුහු ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වූහ.
“මම රස්සාවක් විදිහටම කරන්නේ කිතුල් මල් මැදීම. ඒ ගන්න ඇල් තෙලිජ්ජ ටික උණු කරලා පැණි හකුරු ටිකක් හදලා විකුණලා තමයි අපි ජීවත්වෙන්නේ. පාසල් යන ළමයි තුන්දෙනෙක්ගේ වියදම් එක්ක ගෙදර සියලු වියදම් හොයාගන්නේ වැඩිපුරම මේ පැණි හකුරුවලින්. ඊට අමතරව කුලී වැඩ කරනවා. අද වියදම්වල හැටියට මේකෙන් විතරක් ජීවත්වෙන්න අමාරුයි. ඒත් ඉතින් සමහර දවස්වල පොලීසියෙන් හරි සුරාබදු එකෙන් හරි ඇවිත් ගහේ තියෙන ඇල් තෙලිජ්ජ ටික හරි බාවගෙන අරන් යනවා රා හදනවා කියලා. ඉතින් කොහොමද අපි ජීවත්වෙන්නේ” එස්.එම්. විජේරත්න ප්‍රකාශ කළේය.
“මේ මල් මැදිල්ල මම මතක ඇති කාලෙ ඉඳලම කරනවා. ගන්න තෙලිජ්ජ ටිකෙන් වැඩිපුරම කරන්නේ පැණි හකුරු හැදීම. ගෙදරට ඕන බඩුමූට්ටු ටිකක් ගන්නේ ඒකෙන් තමයි. ඉස්සරනම් අපි ගෙවල්වලට කඩෙන් සීනි ගෙනාවෙ නෑ. කෑම ජාති හැදුවෙත් කිතුල් පැණි දාලා. හොඳ කිතුල් හකුරු කියන්නේ තේ බොන්න සීනි වෙනුවට කන දෙයක් විතරක් නෙවෙයි. හොඳ ඖෂධයක්. හැබැයි ඉතින් අද සමහර පොලීසියේ මහත්තුරු මේ රස්සාව කරගෙන යන්න දෙන්නේ නෑ, රා හදනවා කියලා. බොරු කියන්න ඕන නෑ, මම රා ටිකක් හදාගෙන බොනවා තමයි. හැබැයි විකුණන්න හදන්නෙ නෑ.“කේ.ඩී. ප්‍රේමරත්න පවසා සිටියේය.
“මම එක්දාස් නවසිය අනූ හතේ ඉඳලා මල් කැපිල්ල කරනවා. ඒකෙන් පැණි හකුරු ටිකක් හදල විකුණලයි අපි ජීවත් වෙන්නේ. ඒත් ඒ රස්සාවට හතුරො ගොඩක් ඉන්නවා. අපි අමාරුවෙන් මලක් කපලා මුට්ටියක් එල්ලුවාම මුට්ටිය පිටින්ම තෙලිජ්ජ ටික හොරු ගෙනියනවා. නැතිනම් දඬු ලේන්නු, රිළවු මල් කාලා විනාශ කරල දානවා. සමහර දවස්වල රිළව් රංචු පිටින් ඇවිත් තෙලිජ්ජ ටික බීලා මුට්ටියත් කඩාදාල යනවා” එම්.එම්. චමිල ඉන්දික එසේ ප්‍රකාශ කර සිටියේය.
උදේනිගම ප්‍රදේශවාසියෙකු මෙන්ම කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන එස්.එම්. සෙනෙවිරත්න මහතා:
අතීතයේ සිටම මේ ගම්මානවල විශාල පිරිසක් කිතුල් මල් මැදීම කළා. ඒ කාලේ හැම ගෙදරකම වාගේ කිතුල් පැණි හකුරු හැදුවා. ඒ කාලයේ තරමට නැතත් අදටත් මේ කිතුල් කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගන්නා අය බොහෝ පිරිසක් අපේ ගම්වල ඉන්නවා. වන සත්ත්ව හානිය ප්‍රධානයි. ආරක්ෂක අංශවලින් එන බාධාත් එහෙමයි. ඇත්තටම නීති විරෝධී මත්පැන් හදන අයට විරුද්ධව පියවර ගන්න ඕනෑ. ඒත් මේ ගම්මානවල කිසිදු වෙහෙසක් වියදමක් නැතිව ඉබේ වැවෙන කිතුල් ගස් ඕනෑ තරම් තිබියදී ඒ ගහෙන් මේ තරම් වටිනා නිෂ්පාදන කරන්න හැකියාව තිබියදී ඒ මල් පුපුරා විනාශ වෙන්න ඉඩහැර පැණි හකුරු වෙනුවට වෙනත් විකල්ප සෙවීම අපරාධයක් නෙවෙයිද? ඒ නිසා ඇත්තටම පැණි හකුරු හැදීම කරන අය හරියට හඳුනාගෙන ඒ අයට අවශ්‍ය සහාය ලබාදී ඒ අයගේ නිෂ්පාදනවලට හොඳ වෙළඳපොළක් සකසා දෙන්න අදාළ රාජ්‍ය අංශ මැදිහත් වුණොත් ගම්වල රැකියා ප්‍රශ්නය යම් තරමකට විසඳෙනවා.
හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න