ගිය වසරේ ජනවාරි 1 සිට 2024 සැප්තැම්බර් 24 දක්වා මසකට රුපියල් ලක්ෂ 40 බැගින් මාස නවයක් ඇතුළත රුපියල් මිලියන 33ක ඉන්ධන භාවිත කළ බවට සභානායක බිමල් රත්නායක මහතා තමන්ට කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ “1983 පාර්ලිමේන්තුවට පැමිණි දා සිට සහ 2020 සැප්තැම්බර් මාසය දක්වා කථානායකවරයා ලෙස පත්වන තුරු තමන් රජයේ කිසිදු නිල නිවසක පදිංචිව නොසිටි බවයි.
බලය ලබාගැනීමට අසත්‍ය ප්‍රචාරය කිරීම සෑම අවස්ථාවකදීම සාර්ථක නොවන බවද එහි සඳහන් කර තිබේ.
කථානායක ධුරයට පත්වී මාසයකට ආසන්න කාලයකින්, 2020 සැප්තැම්බර් මාසයේදී නිල සහ ආරක්ෂක හේතූන් මත තමාට කථානායක නිල නිවසට මාරුවීමට සිදුවූ බව ද එහි දැක්වේ.
මගේ ධුර කාලය පුරාවටම මම කථානායකවරයාගේ නිවසේ ආහාර වේල සඳහා මගේ පෞද්ගලික මුදල් වියදම් කළ බව මම වගකීමෙන් ප්‍රකාශ කරමි. කථානායකවරයාගේ ආහාර වේල සඳහා රජයේ මුදල් වියදම් කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැත. කෙසේවෙතත් විශේෂ අමුත්තන්, විදේශ තානාපතිවරුන් පැමිණි විට ඔවුන්ට සංග්‍රහ කිරීම රජයේ යුතුකමක් වන අතර එම වියදම් කථානායකවරයාගේ සියලු වියදම් ලෙස සැලකේ. වියදම් එකතු කර මගේ පෞද්ගලික ආහාර වේල් සඳහා වූ වියදම් ලෙස ඉදිරිපත් කර ඇත.”
ඒ වගේම 1983 වසරේ සිට 2020 අගෝස්තු මස කථානායක ධුරයට පත්වන තුරුම විවිධ අමාත්‍ය ධුර දරද්දීත් මම ගමන් කළේ එකම වාහනයකයි. අගමැතිනි හරිනි අමරසූරියට ආරක්‍ෂක හේතූන් මත පරිවාර වාහන සමඟ ගමන් කිරීමට සිදුවන බව ධුරයට පත්වීමෙන් පසු දැනගත් පරිදිම මටද ගමන් කිරීමට සිදුවුණේ නිල වාහන තුනකින් සහ කථානායක කාර්යාලය භාරගත් පසු නිල වාහන තුනකින් සහ ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජීප් රථයක් ද මට ලබාදුන්නේ, මෙම වාහන මගේ අවශ්‍යතා සඳහා, ඊට අමතරව මගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් පස්දෙනෙකු සඳහා වාහන පහක් සහ ඉන්ධන වෙන්කර ඇති බවත් දන්වා සිටිමි.
කෙටි පිළිතුරු අපේක්ෂා කරන සමාජ සන්දර්භයක් තුළ වඩාත් සවිස්තරාත්මක දත්ත ඉදිරිපත් කිරීම නිෂ්ඵල වුවද, සත්‍ය සෙවීමට උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන්ගෙන්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ පාර්ලිමේන්තුවෙන් ඉහත සහ වෙනත් චෝදනා පිළිබඳ විස්තර ලබාගන්නා ලෙසත්, 2023/2024 පමණක් නොව 2020 සිට තොරතුරු ලබාගන්නා ලෙසත් මම ඉල්ලා සිටිමි” යනුවෙන්ද එහි සඳහන් කර තිබේ.
සමන්මලී ප්‍රියශාන්ති