කෘෂි බෝග සඳහා හානි පමුණුවන වනසතුන් පිළිබඳ ජාතික සංගණනය මෙම 15දා (සෙනසුරාදා) උදේ 8.00 – 8.05ත් අතර කාලසීමාව තුළ පැවැත්වීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
එදින උදෑසන 8.00 – 8.05ත් අතර කාල සීමාව තුළ තම ගෙවත්ත, වගා බිම, පාසල, පුණ්‍යභූමි හා වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ තමාට අදාළ පරිශ්‍රයේ සිටින වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් හා මොනරුන් සංඛ්‍යාව ගණන් කර ග්‍රාම නිලධාරිවරයා විසින් ලබාදී තිබෙන සංගණන පත්‍රිකාවේ සටහන් කිරීම ජනතාව විසින් සිදු කළ යුතුවේ. වනාන්තරවල සිටින වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් හා මොනරුන් පිළිබඳ සංගණනයක් මෙම දිනයේදී (15) සිදු නොවේ.
මෙම සංගණනය ග්‍රාම නිලධාරි වසම් පාදක කරගෙන පැවැත්වෙන අතර ග්‍රාම නිලධාරිවරයාගේ මූලිකත්වයෙන්, සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහයෝගයෙන් සිදු කරනු ලැබේ. මේ පිළිබඳ දැනුම්වත් කිරීම, සංගණන පත්‍රිකා නිවෙස් හා අනෙකුත් පරිශ්‍ර වෙත බෙදා දීම සහ සංගණනයෙන් පසු පත්‍රිකා නැවත එකතුකර ගැනීම යන වගකීම් ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත පවරා ඇත.
සටහන් කරනු ලබන සංගණන පත්‍රිකාව, අදාළ ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත භාරදීම ජනතාව සිදු කළ යුතුය. තම ග්‍රාම නිලධාරි වසම තුළ ඇති පාසල්, පුණ්‍ය භූමි, විශ්වවිද්‍යාල හා රෝහල් වැනි වෙනත් රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන පවතී නම් ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් අදාළ ග්‍රාම නිලධාරීන් විසින් සකස් කරනු ලබයි. මහපරිමාණයේ වගාවන් පවතී නම් එම වගා බිම්වල තොරතුරු ලබා ගැනීම තනි පුද්ගලයෙකුට කළ නොහැකි බැවින් වගාවන් කළමනාකරණය කරන නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා එම ආයතනයේ පිරිසක් යොදවා ගැනීමට ග්‍රාම නිලධාරී විසින් සැලසුම් කිරීමට නියමිතය. අයිතිකරුවන් පදිංචිව නොමැති ඉඩම් හෝ පරිශ්‍ර පවතීනම් එම ඉඩම් හෝ පරිශ්‍රවල සංගණන තොරතුරු ලබා ගැනීම සඳහා එම ඉඩම් හෝ පරිශ්‍රවලට යාබඳව වෙසෙන පුද්ගලයන් යොදා ගැනීම සිදු කළ යුතුවේ.
වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර ඇති අතර මෙම කමිටුවේ සභාපති ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන) ඩී.එස්. රත්නසිංහ මහත්මිය පත්කරන ලදි. තවත් සාමාජිකයින් 15 දෙනෙක් මේ සඳහා ඇතුළත් වේ.මෙම කමිටුව විසින් ගනු ලබන සියලු නිර්දේශ මාර්තු මස අවසන් වීමට ප්‍රථම කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතය.
මේ සංගණනය පිළිබඳ මාධ්‍ය වෙත කරුනු අනාවරණය කිරීමේ සාකච්ඡාවක් ඊයේ (03) කමිටු සභාපතිනිය ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර එම කමිටු සාමාජිකයන් විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ජාතික කර්තව්‍යයක් ලෙස සලකා මෙම සංගණනයට මහජනතාව සහයෝගය ලබාදෙන ලෙසයි.
බුද්ධිකා ඉඹුලාන