රාත්‍රී කාලයේ ධාවන වන දුම්රියන්හී වනඅලි ගැටීම වැළැක්වීමට අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීමට සහ දුම්රිය ආරම්භක වේලාවන් වෙනස් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ 7 වැනිදා සිට නව සංශෝධිත කාලසටහන් ක්‍රියාත්මක කිරීමට මේ අනුව සැලසුම් කර තිබේ.
මීට සමගාමීව කොළඹ කොටුව සිට මඩකළපුව අතර ධාවනය වන මීනගයා නගරාන්තර රාත්‍රී තැපැල් දුම්රිය සඳහා s-13 වර්ගයේ බලවේග කට්ටලයක් ධාවනය කිරීමටද නියමිතය.
වනඅලීන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව දිගු හා කෙටි කාලීන පියවර රැසක් ගෙන තිබෙන අතර එහි තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරයි. වනඅලින් බහුලව සැරිසරන ප්‍රදේශවලදී දුම්රිය වේගය අවම වන ලෙස අඩු වේග සීමාවක් ලබා දී දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට සහ අදාළ ප්‍රදේශයන්හී වනඅලින් සැරිසරන කාලසීමාවන්ට පෙර හා පසු වශයෙන් දුම්රිය ධාවන කාල සටහන වෙනස් කිරීමට මේ අනුව කටයුතු කර තිබේ.
ඒ අනුව මඩකළපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක්ගොඩ දක්වා සහ වැලිකන්ද සිට පූනානි දක්වාද ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දිය සිට කන්තලේ දක්වා ප්‍රදේශ ආවරණය වන පරිදි මේ සංශෝධන සිදු කර ඇත. ඒ අනුව මේ 7 දා සිට ඉදිරි දිනයන් සඳහා කලින් ආසන වෙන් කරන මගීන්ට නියමිත පරිදි කල්වේලා ඇතිව අදාළ දුම්රියන් සඳහා පැමිණීමට කටයුතු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
සුභාෂිණී සේනානායක, උපේක්ෂා රණවක