Home » වෛද්‍යවරුන් ඇතුළු සියලු රජයේ සේවකයන්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා

වෛද්‍යවරුන් ඇතුළු සියලු රජයේ සේවකයන්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා

-සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස කියයි

by sachintha
March 4, 2025 4:01 pm 0 comment

වත්මන් රජය විසින් ඉදිරිපත් කරන ලද අය-වැය ‍ලේඛනයෙන් වෛද්‍යවරුන් ඇතුළු සියලු රජයේ සේවකයන්ට දැනෙන වැටුප් වැඩිවීමක් සිදුකර ඇති හෙයින් එම වැටුප් වැඩිවීම පිළිගෙන කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඇතුළු සියලු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ මහතා ඒ බව සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාව සහ නිවාඩු දින දීමනාව සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් වැඩ වර්ජන සූදානමකට එළඹෙන බවට වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය පිළිබඳ ‘දිනමිණ‘ කළ කරුණු විමසීමකට පිළිතුරු දෙමිනි.

මීට පෙර අවස්ථාවල පැවැති රජයන් හමුවේ මෙවැනි වැටුප් වැඩිවීමක් නොව මීට වඩා කුඩා වැටුප් වැඩිවීමක් ලබා ගැනීමට වුවද වෛද්‍යවරුන්ට අරගල කිරීමට සිදු වූ බව ද ඒ මහතා සිහිපත් කළේය.

එමෙන්ම එම රජයන් විසින් සිදු කළේ එම දීමනා මූලික වැටුපට එකතු කරනවා වෙනුවට දීමනා ලෙස වැටුපට එකතු කිරීම බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වෛද්‍යවරයකු ලෙස පළමුවරට පත්වීමක් ලබන අයකුට ලැබෙන රුපියල් පනස් හතර දාහේ වැටුප රුපියල් අනු එක්දාහ දක්වා ඉහළ ගොස් ඇති බවත් වෛද්‍යවරු ඇතුළු සියලු රජයේ සේවකයන්ට මාර්තු මාසයට වඩා වැඩි වැටුපක් අප්‍රේල් මාසයේදී හිමිවන බවත් ඔහු අවධාරණය කළේය.

රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදී එමගින් අත්මිදෙමින් තිබෙන මොහොතක වෛද්‍යවරුන් මීට වඩා සමාජ වගකීමකින් යුතුව කටයුතු කරනු ඇතැයි ද, මෙම වැටුප් වැඩිවීම පිළිගෙන කටයුතු කරනු ඇතැයි ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

සමන්මලී ප්‍රියශාන්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT