විවිධ පුද්ගලයන් විසින් පවත්වාගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල්වලට සම්බන්ධකම් ඇති දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුවක් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) හෙළිදරව් කළේය.
දැනට පාර්ලමේන්තුවේ සිටින සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ හා ජනාධිපතිවරු දෙදෙනකුගේ හිතවතුන්ට මෙම සම්බන්ධකම් තිබෙන බව පැවසූ ඒ මහතා, ඉන්ධන සම්බන්ධ ගැටලුව විපක්ෂය විසින් ඇති කරන ලද්දක් බව ද කීවේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සම්බන්ධකම් ඇති ඉන්ධන පිරවුම්හල් තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීවරයාටද ඉන්ධන පිරවුම් හළක් ඇති බවත් කීවේය.
එමෙන්ම විපක්ෂයේ 5 දෙනකුට මේ සම්බන්ධකම් තිබෙන බව කී නියෝජ්‍ය ඇමැතිවරයා ඒ අතර ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණ, රංජිත් මද්දුමබණ්ඩාර සිටින බවත් කීවේය. ගයන්ත කරුණාතිලක මහතාගේ සහෝදරයකුගේ නමට ඉන්ධන පිරවුම්හලක් ඇති බවත් කී ඒ මහතා, ප්‍රසන්න රණතුංග, වර්නන් ගුණරත්න, කුමාර වෙල්ගම, අකිල විරාජ් කාරියවසම්, පවිත්‍රා වන්නිආරච්චි, නිලානි ධර්මදාස, ඇතුළු පිරිසකට සම්බන්ධකම් තිබෙන ඉන්ධන පිරවුම්හල් පවතින බවත් කීවේය.
දුමින්ද දිසානායක, චන්දිම ගමගේ, කින්ස් නෙල්සන්, ඉන්දික බණ්ඩාරනායක, පියසේන ගමගේ, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු පිරිසකගේ සහෝදරයන්, බිරින්දෑවරු, මවුපියන් ඇතුළු හිතවතුන්ගේ නම්වලින්ද ඉන්ධන පිරවුම්හල් ලබාගෙන ඇතැයි ඒ මහතා පැවසීය.
ඉන්ධන බෙදාහැරීමේ අර්බුදය ගැන විපක්ෂය සැලකිලිමත් වන්නේ ඇයි සහ බෙදා හරින්නන් කෙරෙහි අනුකම්පා කරන්නේ ඇයි කියලා අපි කල්පනා කළා. විපක්ෂයේ දේශපාලනඥයන් ගණනාවක් රටේ ප්‍රධාන බෙදාහරින්නන් සමඟ සම්බන්ධ බවට අපිට පෙනී ගියා. මේ අය පිරවුම් හල් හිමි හයිටෙක් කාබන් පෞද්ගලික සමාගම සමඟ සම්බන්ධ වී ඇති බව අපට දැන ගන්නට ලැබුණා. තමන්ගේ ව්‍යාපාරවලට තර්ජන එල්ල වන විට හිමිකරුවන් කුලප්පු වීම සාමාන්‍යයි. ඒ කලබලවලට ආණ්ඩුව සැලෙන්නේ නැතැයිද වත්මන් සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් විසින් පසුගිය කාලයේදී ලබාගෙන ඇති ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න