Home » මලියදේවයේ ක්‍රීඩකයෙක් වාසනාව-අවාසනාව එකම මොහොතේ අත්විඳී

මලියදේවයේ ක්‍රීඩකයෙක් වාසනාව-අවාසනාව එකම මොහොතේ අත්විඳී

-මවගේ සිහිනය වුණේ පුතා දක්ෂ ක්‍රීඩකයෙක් කරන එකයි

by sachintha
March 4, 2025 4:00 pm 0 comment

තම පුතා දක්ෂ ක්‍රීඩකයකු වීමේ සිහිනය දකිමින් සිටි මවකගේ දේහය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශීත ගබඩාවේ තිබියදී ඇගේ සිහිනය ඉටු කරමින් උස පැනීමේ තරගයක නව වාර්තාවක් තැබූ දක්ෂ සිසුවකුගේ සංවේදී කතාවක් අපට අසන්නට ලැබෙන්නේ කුරුණෑගලිනි.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පසුගිය 28 වැනි දින පැවති නිවාසාන්තර ක්‍රීඩා උලෙළේදී උස පැනීම මීටර් 1.89 නව වාර්තාවක් තබමින් නිපුණ මනෝද්‍ය සිසුවා විද්‍යාලයට ගෞරවයක් ලබා දුන්නේය. නිවාසාන්තර ක්‍රීඩා තරගය අභිමුවේ සිය පුහුණුවීම් කටයුතු කරමින් සිටින අතරතුර එනම්, ඉකුත් පෙබරවාරි 25 වැනි දින නිපුණගේ ආදරණීය මව හදිසියේ රෝගාතුර වූවාය. නිපුණගේ පියා කුඩා කාලයේදීම ඔහු දමා වෙනතක ගොස් තිබිණි. සිය මවත් තමාවත් බලා කියා ගත්තේ නිපුණගේ මාමණ්ඩියයි. මවගේ හදිසි අසනීපයත් සමඟ ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍ර‍තිකාර ලබමින් සිටියදී ඇය සදහටම දෙනෙත් පියාගන්නේ නිපුණගේ දක්ෂතා දෑසින් දැක බලා ගැනීමට වාසනාව නොමැතිවය. නිපුණ මේ වාර්තාව තබා ඇත්තේ තම සදාදරණීය මවගේ නිසල දේහය කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ශීත ගබඩාවේ තැන්පත් කර තිබෙන මොහොතකය. ඔහුගේ ජයග්‍රහණයේ විශේෂත්වය එයයි. ඉවසීම, දරාගැනීම, අභියෝග ජයගැනීම, ඉලක්ක හඹා යෑම පමණක් නොව ජීවිතය යනු කුමක්ද? යන අපූර්වතම පාඩම කියාදෙන, ජයග්‍රහණය සහ පරාජය එකවිට දරා ගනිමින් වාසනාව සහ අවාසනාව එකම මොහොතේදී අත්විඳි මලියදේවයේ තරුවක් වූ නිපුණ මනෝද්‍ය සිසුවා මලියදේව ඉතිහාසයට සිය නම එක් කළේය.

මවගේ නිසල දේහය රෝහල් ශීතාගාරයේ තැන්පත් කර පසු දින සිට විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ පුහුණු කටයුතුවලට සහභාගි වීමට තරම් ආත්මවිශ්වාසයත්, චිත්ත ධෛර්යයත් ලබා ගත්තේ පරාජය හමුවේ නැඟී සිටීම ක්‍රීඩාවේ ජීවගුණය බව සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට කියාදෙමිනි. ආදර්ශවත් ක්‍රීඩකයා පිටුපස විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.සී.කේ. මහමිතව මහතා, ක්‍රීඩා සහ විශේෂ සමගාමී නියෝජ්‍ය විදුහල්පති උපුල් ගුණතිලක, ක්‍රීඩා පාලක අකලංක ගමගේ, ක්‍රීඩා භාර ගුරු මහත්ම මහත්මීන්, නිවාස භාර ගුරු මහත්ම මහත්මීන්, සහෝදර සිසුහු ඔහුගේ චිත්ත ධෛර්යයට අත්වැලක් වී සිටියහ.

කුරුණෑගල, යන්තම්පලාව ප්‍රදේශයේ ජීවත්වන මනෝද්‍ය (17) උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන අතර රග්බි, පිහිනුම් ක්‍රීඩාවේ ද යෙදී සිටියි. බටහිර තූර්ය වාදක කණ්ඩායමේ ද දස්කම් දක්වා ඇති මනෝද්‍ය පුහුණුකරුවකු ද නොමැතිව 2017 වසරේ විද්‍යාලයේ දක්ෂතම ක්‍රීඩකයා විය. ශක්තිමත්ව නැඟී සිටි නිපුණ වෙනුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරිය සහ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ප්‍රමුදිත ජයසුන්දරගේ මව වන රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරි උදේනි මහත්මියගේ අසීමිත ළෙන්ගතුකම සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආදරය, කරුණාව, සෙනෙහස නිපුණගේ චිත්ත ධෛර්ය ඉහළටම නංවාලීමට පිටිවහලක් විය.

එදා ඔහු ජය ගත්තේය. ‘‘අම්මාගේ ඉල්ලීම ඉටු කළා” යැයි ඔහුට ඉබේම කියවිණි. මලියදේව පුතුන් පමණක් නොව ශ්‍රී ලාංකේය පුතුනි, ඔබට ආදර්ශයක් දුන් පුතකු බිහිකළ බී.ඒ. පද්මිණී මානෙල් (43) මෑණියන්ට අපි අජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරමු.

මාවතගම විශේෂ

ආනන්ද විජේතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT