මෙරට ජනතාවගේ නීරෝගිභාවය වෙනුවෙන් පෝෂණය පිළිබඳ වසර 3ක අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
“ස්ථූලතාව පිටුදකිමින් බෝවන රෝග වළක්වා ගනිමු” යන්න තේමාව කරගත් ‘ලෝක ස්ථූලතා දිනය’ වෙනුවෙන් සංවිධාන කර තිබූ පාගමනින් අනතුරුව පැවති දැනුම්වත් කිරීමේ වැඩසටහනකට පෙරේදා (03) එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකා පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සංවිධාන කළ මෙම පාගමන ඊයේ (03) පෙරවරුවේ කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙන් ආරම්භ කළ අතර ලිප්ටන් වටරවුම, නගර සභා පරිශ්‍රය පසුකර නැවතත් විහාර මහාදේවි උද්‍යානයෙන් අවසන් කෙරිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,
“ඉදිරි වසර 3ක කාලපරිච්ඡේදය සඳහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමිව එම කටයුතු ක්‍රියාත්මක කරනවා.
පෝෂණය හා සම්බන්ධ දැනුම්වත් කිරීමේ ක්‍රියාකාරි වැඩසටහන් සම්පාදනයේ දී ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ සඳහා කණ්ඩායම් රාශියක් සිටිනවා. එහෙත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය සිදු වන්නේ විවිධ පරාසයන් හා මූලයන් කේන්ද්‍රගතවයි. එබැවින් ප්‍රතිඵල ලබා ගැනීමට යම් කාලයක් ගතවීම හා සංකීර්ණතා මතුවීම සිදුවනවා.
එබැවින් එම කටයුතු හරවත්ව හා ඵලදායීව ඉටු කිරීම සඳහා සියලු යන්ත්‍රණ ඒකාබද්ධ කිරීම වැදගත්. එමෙන්ම රජය මඟින් ඉදිරි වසර 3 ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහනට සියලු කණ්ඩායම් ඒකාබද්ධ වෙනවා.
එම අඛණ්ඩ වැඩපිළිවෙළ සඳහා දේශීය විදේශීය සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා. වත්මන් රජයේ බලාපොරොත්තුව මෙරට ජනතාවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ලබා දීමයි. එම පොහොසත් රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, පෝෂණමය, ඇතුළු සෑම අංශයකින්ම පොහොසත් ජීවිතයක් ගත කිරීමට මෙරට ජනතාවට අවස්ථාව උදාකර දීමට කටයුතු කරනවා.
විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.
ශ්‍රී ලංකා පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය නලින්ද හේරත්, ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය එස්. පී. කුරුකුලආරච්චි, විශේෂඥ වෛද්‍ය තෙන්නකෝන් ජයවීර, භාණ්ඩාගාරික විශේෂඥ වෛද්‍ය එම්. පී. ගමගේ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති සංජීව තෙන්නකෝන්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා, ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ සභාපති මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහත්ම මහත්මීන් ද, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් සංවිධාන ඇතුළු නියෝජිතයෝ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
දුලක්ෂි උඩගෙදර