රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනකු අද (04) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා අතරින් එක් අයෙකු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකි . අනෙක් තැනැත්තිය නාරම්මල ප්‍රදේශයේ පදිංච් 23 හැවිරිදි තරුණියකි .
මොවුන් දෙදෙනා මෙම දුම්වැටි තොගය රැගෙන ඒම සදහාම සංචාරක වීසා යටතේ ඩුබායි බලා ගොස් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
මොවුන් අද අලුයම 01.35 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ , විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම් ” වර්ගයේ දුම්වැටි 20,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 100 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
මේ වනවිට මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් හෙට (05) දින මොවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .