Wednesday, April 23, 2025
Home » පුංචි තිරයෙන් බැසගිය සඳවතිය

පුංචි තිරයෙන් බැසගිය සඳවතිය

by sachintha
March 4, 2025 4:02 pm 0 comment

රූපවාහිනී ශිල්පීහු තිදෙනෙක් ස්වකීය සහෘද ජන සමාජයට “සයොනාරා” කියමින් ජීවිත පොත වසා දැමූහ. නැවත ඔවුන් ජීවමාන ලෙස අපට සම්මුඛ නොවනු ඇත. එහෙත් අපේ මතක පොත ඔවුන් පිළිබඳ සටහන් යළි යළිත් පෙරළා දක්වනු ඇත. තව සැලකිය යුතු කාලයක් එය එසේ සිදුවනු ඇත. කෙනකු ජීවිතය හැර අපෙන් වෙන් වී ඈතට ඈතට යෑම වේදනාවකි, ශෝකයකි. ප්‍රියයන් අපෙන් ඈත්වීම බලවත් කම්පනයකට හේතුසාධක වන බව කියති. දුරස් වූ තැනැත්තා ජනප්‍රිය ශිල්පියකු වීම, එම කම්පනය තීව්‍ර කිරීමට හේතුසාධක සපයයි. එහෙත් වෙන්වීම, සමුගැනීම, දුරස්වීම ස්වාභාවික සංසිද්ධියකි. හිතන, පතන, කැමැති අයුරින් සියල්ල සිදුවන්නේ නැත. එම යථාර්ථයට මුහුණදීමට අප කාටත් සිදුවනු ඇත. මරණය කිසිවකුටත් වැළැක්විය නොහැකිය. එලෙසම එය කවදා, කෙලෙස, කොතැනක දී සිදු වන්නේදැයි කිසිවකුටත් නිශ්චය කළ නොහැකිය. උපතක් සිදුවූයේ ද? එහිම මරණයක් ද සටහන් වන්නේ යැයි කියනු ලැබේ.

සමහරු ඉතා සූක්ෂ්ම ලෙස ශරීරය නඩත්තු කරමින් පරමායුෂ භුක්ති විඳීමට සැරසෙති. තව සමහරු එය අතහැර මතු ආත්මයක සුවය පතා පින්කම්වල යෙදෙති. තවත් සමහරු මේ කිසිවක් ගැන නොසිතා මරණය එන තෙක් බලා සිටිති. කුමක්වුව වෙනසක් නැත. නිසි කාලයෙහි නිශ්චිත ලෙසම මාරයා පැමිණෙනු ඇත. සිදුවිය යුත්තේ මරණය තෙක් ජීවිතයේ වගකීම් ඉටුකරමින් අර්ථවත් ලෙස කාලය ගෙවා දැමීමය. එවිට නිදහස් සිතින් තෘප්තිමත්ව මරණය නම් අවස්ථාවට මුහුණදිය හැකිය. අප සටහනක් තබන්නට යන ශිල්පීන් තිදෙනාම එලෙස යුතුකම්, වගකීම් ඉටු කරමින් සමාජ මෙහෙවරක යෙදී ජීවිතයට නැවතීමේ තිත තැබූ අය යැයි නිසැක ලෙසම කිවහැකිය. එබැවින් අපි ඔවුන් ගැන ඇතිකරගත් සංතෘප්ත හැඟීමෙන් යුතුව මේ සටහන ආරම්භ කරන්නෙමු.

ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ අධ්‍යක්ෂවරයකු හැටියට බලවත් නිර්මාණ මෙහෙවරක් ඉටු කළ සන්තුස ලියනගේ පළමුව අප සිහියට නැඟේ. ඔහුගේ නිර්මාණ කුසලතා මොනවට පෙන්නුම් කරන නිර්මාණාවලියක් ලෙස ‘භාව යාත්‍රා ඒකාංගික ටෙලිනාට්‍ය පෙළ හඳුන්වා දිය හැකිය. රූපවාහිනී නාට්‍ය කලාවේ මුල් ගෙදර ජාතික රූපවාහිනියේ නාට්‍ය ඒකකය යැයි කීමෙහි වරදක් නැත. මුල් යුගයේ රූපවාහිනී නාට්‍ය නිෂ්පාදනය වූයේ අත්දැකීම් රහිතව මත දෙකකට බෙදෙමින් යැයි සිතිය හැකිය.

(I) අර්ථවත් නාට්‍ය කලාවක් සඳහා රූපවාහිනී මාධ්‍යය සුදුසු නැත. මේ මාධ්‍ය ඔස්සේ කළ හැක්කේ වාර්තාකරණයක් පමණි. ගැඹුරු ජීවිත විවරණයක් සහිත නිර්මාණවලට මෙම මාධ්‍ය සුදුසු නොවේ.

(II) රූප රචනය වෙනස් කිරීමෙන් හා නව ශිල්පී‍ෙ උපක්‍රම භාවිතයෙන් ද සාර්ථක තිර, රචනා නිර්මාණය කර ගැනීමෙන් ද අර්ථවත් රූපවාහිනී නාට්‍ය කලාවක් බිහිකළ හැකිය. ඒ සඳහා නිරන්තරයෙන්ම අභ්‍යාස කළ යුතුය.

සන්තුස ලියනගේ යනු දෙවන මතය පිළිගෙන, ඒ අනුව සිය කාර්යභාරය ඉටු කළ ශිල්පියෙකි. ඔහුගේ සෑම නිර්මාණයකම පාහේ අත්හදාබැලීමක්, අභ්‍යාසයක් දැකගත හැකිය. හොඳ නිරීක්ෂකයකුට සන්තුසගේ නිර්මාණ වහා හඳුනාගත හැකිය. ඔහු භාවිත කරන රූපරාමුවල හැඩය වෙනස්ය. ඒවා බොහෝවිට සංකේතවලින් පිරී පවතියි. ඡේදන ළඟ ළඟ සිදු වෙයි. නළු නිළි හැසිරවීම වෙනස්ය. මෙලෝ ඩ්‍රාමා වෙනුවට ස්වාභාවික රංගනයට සන්තුස වැඩි කැමැත්තක් දක්වයි. ඔහු තෝරාගන්නා තිර රචනාවල විස්මය, කුතුහලය හා අද්භූත බව වැඩිය. සන්තුස ලියනගේ අයත්වන්නේ ජාතික රූපවාහිනියේ දෙවන හෝ තෙවන පරම්පරාවටය. ඔහු වසර තිස් ගණනක් පුරාවට ජාතික රූපවාහිනියට සිය නිර්මාණ දායකත්වය ලබා දී ඇත. මියයනවිට අවුරුදු පනස් හතක් වූ සන්තුස ලියනගේ සිය ආයතනයට ණය නැත. ඔහු නිසා රූපවාහිනී නාට්‍ය ඒකකය බැබළුණේය.

දෙවනුව අපගේ සිහියට නැඟෙන්නේ වසන්ත විට්ටච්චි නම් අතිදක්ෂ රංගන ශිල්පියාය. ඔහු මියයන විට වයස අවුරුදු හැටපහක් වූ අතර ටෙලිනාට්‍ය ක්ෂේත්‍ර‍ෙයහි වැඩ අධිකම නළුවෙක් ද විය. කොළඹ ලයනල් වෙන්ට් ශාලාවේ පැවති නාට්‍ය පුහුණු වැඩමුළුවකින් පසු ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය ශිල්පියකු හැටියට ප්‍රසිද්ධ වේදිකාවට එකතු වූ ඔහු, පසුව චිත්‍රපටවල හා ටෙලි නාට්‍යවල ද රඟ පාන්නට විය. ‘බුමුතුරුණු’, ‘තාරාදේවි’ ආදී ටෙලි නාට්‍යවල කැපී පෙනෙන චරිත රංගනයක යෙදුණු වසන්ත, අංගරචනා ශිල්පියකු හැටියට ද සේවය කළේය. කෙසේ වුව මේ ක්ෂේත්‍ර දෙකෙන්ම වසන්ත ලබා ඇති සම්මාන ගණන පනහකට වැඩිය. ඒ අතර අන්තර්ජාතික සම්මාන ද පවතියි. ඉතා සුළු කාලයක් අසනීප තත්ත්වයෙන් පසු වූ වසන්ත, ජීවිතය හැරයන්නේ ඔහුගේ හොඳම කාලය එළැඹි අවස්ථාවේ යැයි අපට සිතේ.

‘පුංචි තිරයේ සඳවතිය ලෙසින් ප්‍රකට සුසන්තා චන්ද්‍රමාලි රංගන ශිල්පිනිය සිය දිවිසැරියට ආයුබෝවන් කියනවිට හැට එක්වන වියෙහි පසුවූවාය. රූපවාහිනී තිරය තුළ අහිංසක, ගැමි චරිතවලට ජීවය දුන් සුසන්තා, ජාතික රූපවාහිනියේ නිර්මාණ රැසක මතක හිටින චරිත නිරූපණයක යෙදුණාය.

1964 දී මෙලොව එළිය දුටු සුසන්තා කෙටි කාලයක් අසනීපව සිට හදිසියේ ජීවිතය හැර ගියේ තවත් කාලයක් වැඩකළ හැකිව තිබියදීය. මේ ශිල්පීන් තිදෙනාම තවත් කාලයක් යනතුරු අපේ මතකයෙන් ගිලිහී නොයනු ඇත.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT