රටේ ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති කරන ප්‍රධාන අංගයක් වශයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය හඳුන්වා දිය හැකියි. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා අතර දුම්රිය සේවාව අද්විතීය ස්ථානයක් දරයි. නව රජය පත්වීමත් සමඟ පොදු ප්‍රවාහනයේ උන්නතිය වෙනුවෙන් වඩාත් සාධනීය තීන්දු තීරණ ගණනාවක් ගනු ලැබීය. ඒ අතර වඩාත් ප්‍රබල කාරණාවක් වනුයේ උඩරට මාර්ගයේ විශේෂිත වූ දුම්රියන් කිහිපයක් ධාවනයට එක් කිරීමයි.
නානුඔය සිට බණ්ඩාරවෙල දක්වා පසුගිය 10 දා අලුතින් ආරම්භ කළ “නානුඔය ඔඩිසි දුම්රිය” සහ නානුඔය බණ්ඩාරවෙල අතර එක් වාරයක් ගමන් ගත් “කැලිප්සෝ දුම්රිය” පසුගිය 14 දා ගමන් වාර හතරක් දක්වා වැඩි කරන ලදි. මේ ආරම්භයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය දා කැලිප්සෝ දුම්රියෙන් ලක්ෂ 10ක දෛනික ආදායමක් ලැබීය. එය දුම්රිය දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලැබූ සුවිශේෂී ආදායමකි. සාමාන්‍ය දිනවල එහි දිනක ආදායම රුපියල් ලක්ෂ පහක් පමණකි. එහි දිනක වියදම ලක්ෂ හතරක් පමණ වේ. ඔඩිසි දුම්රියෙහි දින 30 ක ආදායම රුපියල් ලක්ෂ 120 ඉක්මවිය.
මේ දුම්රියන්හි විශේෂත්වය වන්නේ විදේශ සංචාරකයින්ට දියුණු රටවල ලබා දෙන පහසුකම් එක් කර තිබීමයි. වායු සමනය කළ මැදිරි ඇත. එසේම රසවත් ආහාර පාන ද ඇත. තවද ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විදේශිකයන්ට සුහදශීලි සේවාවක් ද සැපයේ. නානුඔය ඔඩිසි දුම්රිය පසුගිය මස10 දා ආරම්භය ද සුවිශේෂීය. මඟුල් බෙර වාදනය මිශ්‍ර සංගීත නාදයන් මැද මෙහි ආරම්භය සිදු විය. විදේශිකයෝ ද අපමණ සතුටකට පත් වූහ. ඔවුහු සන්තුෂ්ටිය රංගනයන් මතින් මුදා හළහ.
නානුඔය ඔඩිසි මංගල ගමනට විදේශ ජාතිකයෝ 500 කට අධික පිරිසක් එක් වූහ. මෙරට සංස්කෘතියේ අංගෝපාංගවලින් මේ ගමන සමලංකෘත විය.
ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු රටක් වෛද්‍ය ෆ්‍රැන්චෙස්කො
මානසික සෞඛ්‍ය විශේෂඥ – ඉතාලිය
ඒ වගේම ශ්‍රී ලංකාව ගොඩක් සුන්දර රටක්. මමත් මගේ සැමියාත් ශ්‍රී ලංකාවේ සංචාරයකට ආවා. ඔහු ඉංජිනේරුවරයෙක්. ශ්‍රී ලංකාව සංචාරක සිතියමේ සංචාරයට සුදුසු රටවල් අතර ඉහළින්ම සිටින රටක්. ඇත්තෙන්ම එය සත්‍යයක්. ශ්‍රී ලංකාව මනරම් දර්ශන ඇති රටක්. සීගිරිය මනරම් නිර්මාණයක්. ඇත්තටම එය හරිම දර්ශනීය ස්ථානයක්. මහනුවර ඓතිහාසික දළදා මාලිගය ඇතුළු ස්ථාන නරඹන්නට අපිට හැකි වුණා. අපි අද ඇල්ල යන විශේෂ දුම්රියට පැමිණියා. එය අද සිට ධාවනයට එක් කර ඇති බව දැන ගත්තා. නානුඔය දුම්රිය ස්ථානයේ දර්ශනීය බෙර කණ්ඩායම් අපිව පිළිගැනීමට එක්ව සිටියා. මේ සියල්ල හරිම මනස්කාන්තයි. දුම්රිය විශේෂ පහසුකම් සහිත දුම්රියක් වීම වගේම දර්ශනීය ස්ථාන අසල දුම්රිය නතර කිරීම තුළින් හරිම සුන්දර අද්දැකීමක් අපි ලබා ගත්තා.
ආකර්ෂණීය සේවාවක් ලබා දෙනවා
ධම්මික ජයසුන්දර – දුම්රිය සාමාන්‍යාධිකාරි
අධික සංචාරක ඉල්ලීම අනුව ප්‍රවාහන මහාමාර්ග වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම දුම්රිය ගමන් ආරම්භ කළා. විදේශීය සංචාරකයින් වගේම මෙරට දුම්රිය මගීන්ගේ ගමන් පහසුව නංවාලන්නත් වඩාත් ආකර්ෂණීය සේවාක් ලබා දෙන්නත් අපි කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. මේ දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ දින හයක්ම ධාවනය කරනවා. නානුඔය, බදුල්ල දුම්රිය ස්ථානය අතර පසුගිය (10) දින සිට ක්‍රියාත්මකයි. පෙ.ව. 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා එක් දුම්රියක් ධාවනය වෙනවා. අනෙක් දුම්රිය ප. ව. 01. 00ට බදුල්ල සිට නානුඔය දක්වා නව දුම්රිය ධාවනය කෙරෙනවා. පළමු පන්තියේ වෙන්කළ ආසන (AFC) – රුපියල් 7,000 = යි. දෙවන පන්තියේ වෙන්කළ ආසන (SCR) රුපියල් 6,000 = යි. තුන්වන පන්තියේ වෙන්කළ ආසන (TCR) – රුපියල් 5,000= යි. පළමු මංගල ගමන සඳහා විශාල විදේශිකයන් පිරිසක් එක්ව සිටීම අප ලැබූ භාග්‍යයක්. මෙහිදි එල්ජින් දිය ඇල්ල, සමිට් ලෙවල් හිදී දුම්රිය මන්දගාමිව ගමන් කළා. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය විනාඩි 06ක් ආරුක්කු නවයේ පාලම විනාඩි 10 ක කාලයක් දුම්රිය නතර කරනවා.
සංචාරකයන්ට හොඳ ආරක්ෂාවක් සපයනවා
ප්‍රියංකර ද සිල්වා – නුවරඑළිය හැටන් දිසා භාර නියෝජ්‍ය පොලිස්පති
නුවරඑළියට එන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පැය 24ක ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉදිරි කාර්යබහුල සමය තුළ පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම මෙරට සංචාරය සඳහා පැමිණෙන තර්ජනයට ලක්ව ඇති ඊශ්‍රායල් වැනි රටවල සංචාරකයින් රැඳී සිටින ස්ථානවලට පොලිස් ආරක්ෂාවත් ලබා දී තිබෙනවා. සංචාරකයින්ට ගමන් පහසුව ලබා දෙන රථ හිමියන් සහ එම සංගම්වලට සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු වන ලෙස පහසුකම් සපයන ලෙසත් අපි දැනුම් දී තිබෙනවා. ඒ වගේම සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් සංචාරක කොට්ඨාසයක් ද පිහිටුවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සංචාරකයන්ගේ බඩු භාණ්ඩ සම්බන්ධයෙන්ද දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරලා අවශ්‍ය පියවරගෙන තිබෙනවා.
හරිම සුහදශීලී ජනතාවක් ඉන්නවා
රූබන් සහ තැල්මා – ඊශ්‍රායලය
අපි රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් සිටින්නේ. ශ්‍රී ලංකාවේ සංචාරයට සුදුසුම රටක් බවට ප්‍රසිද්ධයි. අපිත් අපේ විශ්‍රාම දිවිය අතරේ මෙරටට පැමිණීමට තීරණය කළා. හරිම සුන්දර රටක් බව කිව යුතුයි. ලස්සන ස්ථාන ගොඩයි. වඩාත්ම සිත් ගන්නේ, මුහුදු තීරයයි. ඒ වගේම කඳුකර දුම්රිය මාර්ගයේ දර්ශනීය ස්ථාන අපේ සිත ගත්තා. කෙටි නිවාඩුවක් වුණත් අපි ගොඩක් විනෝද වුණා. හරිම සුහදශීලි ජනතාවක් මේ රටේ සිටිනවා.
දර්ශනීය ස්ථාන උඩුරට මාර්ගයේ තිබෙනවා
Heather සහ Terry – කැනඩාව
ශ්‍රී ලංකාව කියන්නේ පුදුම ලස්සන රටක්. මුහුදු තීරයේ සංචාරය කළ අපිට සිතුණේ නැහැ මේ තරම් මනරම් දර්ශනීය ස්ථාන උඩරට මාර්ගයේ තිබෙනවා කියලා. අපි දඹුල්ල සීගිරිය මහනුවර ඇතුළු ස්ථාන නැරඹුවා. ඇත්තටම ඒ ස්ථාන පුදුම විදිහට අපිව සතුටු කළා.
ලංකාවේ සුන්දරත්වය ලෝකයටම කියනවා රියා යුවළ
මෘදුකාංග ඉංජිනේරුවරු – ඉන්දියාව
අපි ශ්‍රී ලංකාවට ආවේ පළමුවරටයි. අපි කෙටි නිවාඩුවක් ලැබුණු ගමන් අසල්වැසි රට නිසා මෙහි ආවා. ඇත්තටම හරිම ලස්සන පුදුම ලස්සන තැන් අපි දැක ගත්තා. මහනුවර දළදා මාලිගය, මහනුවර ඇතුළු දර්ශනීය ප්‍රදේශ රැසක් අපි මේ වන විට සංචාරය කළා. අපිට තවත් තැන් බලන්න ඉතිරි වෙලා තියෙනවා. අද දුම්රිය ගමනේ උඩුරට අසිරිය විඳින්න අපිට හැකි වුණා. පුදුම ලස්සනක් එහි තියෙනවා. හරිම පිරිසිදුයි හැම තැනම. අපි මේ රටේ සුන්දරත්වය ලෝකයටම කියනවා.
සංචාරකයන්ගෙන් ඔඩිසි දුම්රියට විශාල ඉල්ලුමක් තිබෙනවා
බ්‍රැන්ඩි ගම්පොළ-සභාපති – ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමය
ඇත්තටම මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් මේ ඔඩිසි දුම්රියට විශාල ඉල්ලුමක් තිබෙනවා. විදේශිකයන් පුදුම ආසාවකින් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල බදුල්ල දර්ශනීය ස්ථාන නරඹන්නට පැමිණෙන්නේ. සංචාරකයින්ට මෙවැනි පහසුකම් ලබා දීමට රජය කටයුතු කිරිම ගැන සංචාරක මඟපෙන්වන්නෙක් ලෙසටත් මම සතුටු වෙනවා.
සේවය කරන්නේ පළපුරුදු නිලධාරින්
ඩී.ඩබ්ලිව්.පී. ද සිල්වා – දිස්ත්‍රික් පරීක්ෂක ඔඩිසි දුම්රිය නාවලපිටිය
මේ වගේ විශේෂ දුම්රිය සේවා සඳහා යොදවන්නේ වසර ගණනාවක යහපත් සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරින්. මේ මාර්ගයේ රාජකාරි කිරීමේදී දුම්රිය රියැදුරුට විශාල වගකීමක් පැවරෙනවා. මේ මාර්ගයේ නිරන්තරයෙන් දේශගුණය වෙනස් වෙනවා. මේ මාර්ගයේ වැඩිම නැග්මක් නඟින්නේ මේ මාර්ගයේ. අඩියට අඩි 44ක් ලොකුම නැග්මවල් 34ක් නඟිනවා. නිසි පුහුණුවක් ලබා දී සෑහීමකට පත්ව තමයි මේ මාර්ගයට යොදවන්නේ. රියැදුරු සහායකත් පළපුරුදු අයෙක් තමයි යොදවන්නේ.
දුම්රිය ධාවනය තෘප්තියක්
ඩී. වී. ඒ. පියතිලක – ප්‍රධාන රියදුරු
මගේ පළපුරුද්ද වසර 30 වැඩියි. මේ අවස්ථාව ලැබීමම මගේ භාග්‍යයක්. මේ දුම්රිය සංචාරක ප්‍රවර්ධනයේ විශාල අඩිතාලමක්. මේක ප්‍රධාන සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක් යා කරන දුම්රියක්. මේ මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමම තෘප්තිකර දෙයක්. ලෝකයේ දර්ශනීයම දුම්රිය මාර්ගවලින් එකක් තමයි කඳුරට දුම්රිය මාර්ගය. මේ දුම්රිය මාර්ගයේ පළාත් දෙකක් වෙන් කරනවා. මධ්‍යම පළාත සහ ඌව පළාත. ඒ පළාත් දෙක වෙන් වන්නේ අංක 18 බිම්ගෙය පසුකරමින් යන විට හමුවන තොටුපළ කඳු පන්තිය ආසන්නේ බිම් ගෙයින් පිටවන විට දර්ශනීය වැලිමඩ සානුව ඌව පළාතට ප්‍රවිශ්ට වෙනවා. මේ කලාප දෙකට ප්‍රවිශ්ට වන විට දේශගුණික වෙනස හොඳින් දැනෙනවා.
සුභාෂිණී සේනානායක