Monday, April 21, 2025
Home » කෙසෙල් කොළෙන් සල්ලි මවමු

කෙසෙල් කොළෙන් සල්ලි මවමු

by sachintha
March 4, 2025 4:35 pm 0 comment

කෙසෙල් කැන පැසුණු කල එය කපා ගෙදරට ගෙන හෝ කඩපොළට රැගෙන යාමෙන් පසු ඉතිරිවන කෙසෙල් ගස තබාගන්නේ ‘මොන කෙහෙල් මලටදැයි’ සිතා, ‌අප සිදුකරන්නේ එය කපා ඉවත විසි කිරීමයි. ඒහෙත් දැන් එසේ ඉතිරිවන කෙසෙල් කොළයෙනුත් සල්ලි මවන වැඩපිළිවෙළක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ.

කෑම එතීම සඳහා කෙසෙල් කොළ දැනට භාවිත කරන්නේ ගින්නෙන් තැවීමෙන්ය. එය එම අවස්ථාවේදී සිදු කළ යුතුවාක් මෙන්ම එම අවස්ථාවට පමණක් භාවිත කළහැකි වේ. යළි යළිත් කෙසෙල් කොළ කපා ගින්නේ තවා, කෑම එතීමට බොහෝ කාලයක් ගතවන බැවින් ඒ සඳහා බොහෝදෙනා දක්වන්නේ මැළිකමකි.

මේ ගැන සැලකිලිමත් වූ ජාතිකආහාර ප්‍රවර්ධන මණ්ඩලය පොලිතීන් ආහාර දවටන හෙවත් ලන්ච් ෂීට්වලට කදිම ආදේශකයක් ලෙස, පදම් කළ කෙසෙල් කොළ නිපදවීම ආරම්භ කර ඇත. මෙම කෙසෙල් කොළ ආහාර දැවටුම හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වත්මන් සභාපතිනිය ආචාර්ය සුජාතා වීරසිංහ මහත්මියටයි. ඇය පෙන්වා දුන්නේ තම ආයතනය වාණිජ මට්ටමින් ආහාර දවටන සැකසීම ආරම්භ කර තිබෙන බවයි.

‘මෙම ආහාර දැවටුම් නිෂ්පාදනය වර්ෂ ගණනාවකට පෙර මා විසින්ම හඳුන්වා දුන්නා. නමුත් එවකට එය සරල ක්‍රමයට ගෘහ කර්මාන්තයක් වශයෙන් යොදා ගැනීමට හැකි පරිදියි හඳුන්වා දුන්නේ . ඊට වසර කිහිපයකට පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වශයෙන් සේවය කරන අවධියේදී මෙම කෙසෙල් කොළ පදම් කරන යන්ත්‍රය මෙන්ම තවත් සරල යන්ත්‍රයක් නිපදවා කෙසෙල් පත්‍ර පදම් කිරීම හඳුන්වා දුන්නා. එහෙත් පසුගිය වකවානුවලදී වරින්වර ලන්ච් ෂීට් භාවිතය සීමාකිරීම ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක නොවීම තුළ ජෛව ආහාර දවටන භාවිතය ජනප්‍රිය වුණේ නෑ. කෙසේවුවත් මේ වනවිට යළිත් ඒ පිළිබඳව ජනතාවගේ අවධානය යොමුව ඇති නිසා කෙසෙල් කොළෙන් ආහාර දවටන සකස් කිරීම වඩාත් වැඩිදියුණු කර නව මුහුණුවරකින් හඳුන්වාදීමට මා උත්සාහ කරමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ පවත්නා දෙහිවල පිහිටි වෙළෙඳසලෙහිදී වාණිජ මට්ටමින් ආහාර දවටන සැකසීම ආරම්භ කර තිබෙනවා. ගෘහස්ථ කර්මාන්තයක් ලෙස මෙම ලන්ච් ෂීට් හදන්න කැමැති අයට මේ යන්ත්‍රය නිපදවාගන්න හෝ මෙම යන්ත්‍ර නිර්මාණය කරන අයව සම්බන්ධ කර දෙන්න ආහාර ප්‍රවර්ධන මණ්ඩලය කටයුතු කරනවා.

යන්ත්‍රානුසාරයෙන් මහා පරිමාණව මෙන්ම කුඩා පරිමාණයෙන් ගෘහස්ථ කර්මාන්තයක් වශයෙන් ඔබටත් කෙසෙල් කොළ ලන්ච් ෂීට් නිපදවීම ආරම්භ කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙතින් නොමිලයේ ලබා දෙනවා. ඉවතලන කෙසෙල් කොළවලින් අමතර ආදායමක් ද කෙසෙල් වගා කරන ගොවි මහත්වරුන්ට මෙමඟින් උපයාගත හැකිවනවා. කෙසෙල් කොළ පදම් කරන මෙම යන්ත්‍රයට වඩා පොඩි, අතේ ගෙනයාහැකි ප්‍රමාණයයේ යන්ත්‍රයක් නිර්මාණය කරන්නට අප කටයුතු කරනවා. තරුණ අය මේ වගේ නිර්මාණ සිදුකරන්න උනන්දුයි. අපි ඒ වගේ අයට අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙනවා .

ලන්ච් ෂීට් පදම් කරන මෙම යන්ත්‍රය විදුලිබලයෙනුයි ක්‍රියාත්මක වන්නේ. දහයියා වැනි මාධ්‍යයක් භාවිත කරමින් මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කරන්නට අපි පර්යේෂණ සිදු කරමින් සිටිනවා. ගම් මට්ටමින් කාන්තා සංවිධාන ඇතුළු කණ්ඩායම් ඉදිරිපත් වනවා නම් කෙසෙල් කොළ ලන්ච් ෂීට් නිපදවන්න අත දෙන්න ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සූදානම්. ඒ වගේම මෙවැනි ලන්ච් ෂීට් නිර්මාණයේදී කැපී ඉවත්වන කෙසෙල් කොළ කැබලි යොදාගෙන ‘Smart Food Wrap’ එකක් නිර්මාණය කරන්නත් මේ දිනවල මා පර්යේෂණ සිදුකරනවා. කෙසෙල් පවුලේම ශාකයක් වන Heliconia ශාක පත්‍ර යොදාගෙන එය නිපදවන්නටයි පරියේෂණ සිදුකරන්නේ. නැවත නැවත එම නිපැයුම භාවිත කිරීමට ඇති හැකියාව වර්ධනය කිරීමට ද මේ තුළින් අප බලාපොරොත්තු වනවා. කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහත්වරුන් මේ වැඩසටහන ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සියලු සහයෝගය සහ උපදේශකත්වය අපට ලබා දෙනවා.‘ආචාර්ය සුජාතා වීරසිංහ පවසන්නීය.

කෙසෙල් කොළ ලන්ච් ෂීට් නිර්මාණය ඉතා සරලය. ඕනෑම කෙසෙල් ප්‍රභේදයකින් කෙසෙල් අත්තක් කපාගෙන කැමැති ප්‍රමාණයට කැබලි කපා (සාමාන්‍යයෙන් ලන්ච් ෂීට් එකක ප්‍රමාණය වනුයේ සෙ.මී.45 x 45 කි.) සෝදා පිරිසුදු කරගෙන මැද නාරටිය සහිතව හෝ නොමැතිව පත්‍රතලය පමණක් සිටින සේ හෝ කපාගත යුතුය. ඒවායේ ඇති වතුර බිංදු පිසදමා ගන්නේ නම් වඩාත්ම සුදුසුය. මෙසේ සකස් කරගත් කැබලි වරකට එක බැඟින් මෙම යන්ත්‍රයට ඇතුළු කළවිට යන්ත්‍රය තුළින් ඉහළ උෂ්ණත්වයක් හරහා ගමන් කර පදම්වීම සිදුවේ. එසේ පදම් වූ කැබලි කැමැති සංඛ්‍යාවක් එකට තබා හොඳින් නවා හෝ රෝලක් ආකාරයට සකස් කර තෙල් කඩදාසියක දවටා අලෙවියට තැබීමට පුළුවන. කල් තබාගන්නේනම් ශීතකරණයක පහළ කොටසේ තබා දින කිහිපයක් තබාගත හැකිය. මැද නාරටිය සමඟ නම් කෙසෙල් කොළය කල් තබාගැනීමට ඇති කාලය කෙටිය.

මේ ආකාරයට ඔබ ව්‍යාපාරයක් වශයෙන් ආහාර දවටන නිපදවීමට අදහස් කරන්නේනම් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයහා සම්බන්ධ වී අවශ්‍ය තාක්ෂණය ලබාගන්නා ලෙස එම ආයතනයේ සභාපතිනිය ඇරයුම් කරයි. එසේම එම ආයතනයට අවශ්‍ය කෙසෙල් පත්‍ර ඔබට සැපයීමට හැකිනම් ඒවා සපයා මුදල් උපයාගැනීමට ද මේ වනවිට අවස්ථාව උදාවී තිබේ. සාමාන්‍යයන් සෙ. මී 45×45 ප්‍රමාණයේ නොඉරුණු අමු කෙසෙල් පත්‍ර කැබලි ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ දෙහිවල පිහිටි ආයතනයට සැපයීමට හැකිනම් එක් කැබැල්ලක් සඳහා රුපියල් 4.00ක මුදලක් ඔබ වෙත ගෙවීමට එම ආයතනය සූදානම්ය. මෙම යන්ත්‍රය නිපදවා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු හෝ තාක්ෂණික දැනුම ලබා ගැනීම සහ වැඩි විස්තර ලබා ගැනීමට දුරකතන අංක 0112506895/ 0112370027 – (නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය) හෝ 0113370028 -(දෙහිවල) වෙතින් විමසීම සිදුකළ හැකිය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT