Home » එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අයකර ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්නවා – නිතීපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අයකර ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්නවා – නිතීපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

by chanaka
March 4, 2025 4:53 pm 0 comment

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් වූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත පංච පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය කෙරුනු අවස්ථාවේ දී ය.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් පරිසරයට මෙන්ම ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මේ බව කියා සිටියේය.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ නෞකාවේ කාර්යය මණ්ඩලයේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මෙම අවාසනාවන්ත ඛේදවාචකය ඇති වූ බව පෙන්වා දුන්නේය.

මෙම ගිනි ගැනීම සිද්ධියට නෞකාවේ කාර්ය මණ්ඩලය වගකිවයුතු බවත් ඔහු අවධාරණය කළේය.

නීතිමය මූලධර්මයන්ට අනුව වන්දි අය කර ගත යුත්තේ ඊට වගකිවයුතු නෞකා කාර්ය මණ්ඩලයෙන් හා එය අයත් සමාගමෙන් යැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එම වන්දි අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් සඳහන් කළේය. ඊට අමතරව මෙම ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් හා අපරාධ නඩු ගොනු කිරීමට කටයුතු කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT