Monday, April 21, 2025
Home » පෙරහරක දකින සාමූහිකත්වයම පරිවර්තනීය රටක් නිර්මාණය කිරීමට අවශ්‍යයි – අගමැති හරිනි

පෙරහරක දකින සාමූහිකත්වයම පරිවර්තනීය රටක් නිර්මාණය කිරීමට අවශ්‍යයි – අගමැති හරිනි

by chanaka
March 2, 2025 9:31 am 0 comment

පෙරහර පැවැත්වීමේදී දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්ථනීය රටක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය බවත් එය හුදෙකලා ක්‍රියාකාරකමක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

හොරණ රාජමහා විහාරයේ රයිගම්පුර නවම් මහා පෙරහර විථි සංචාරය කිරීමෙි සමාරම්භක අවස්ථාවට (01) දින එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළා ය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ දවසේ ඉඳලම ලෝකෙ පුරාවටම ඒ ඒ ජන ප්‍රජාව ඔවුනොවුන්ට අනන්‍ය වූ සංස්කෘතික වටිනාකම් හා අනන්‍යතාවයන් ගොඩනැංවූ බව මානව ඉතිහාසය නිරීක්ෂණය කරනකොට අපට පැහැදිලි වෙනවා.

පෙරහර කියන්නේ ආගමික වටිනාකම් වගේම සෞන්දර්යාත්මක වටිනාකම්වල එකතුවකට. පෙරහර පුරාවටම තමන්ගේකම, අපේකම කියන හැඟීමක් හැම දෙනා තුළම තියෙනවා.

ඒ වගේම පෙරහර කියන්නේ තනි තනි මිනිසෙක් වෙනුවට සාමූහික මිනිස් ක්‍රියාකාරකම් කුළුගැන්වෙන සංස්කෘතික අවස්ථාවක්. රටක් හැටියටත් අද අපට ඕන වෙන්නෙ තනි තනි හුදෙකලා මිනිස් ක්‍රියාකාරකම් වෙනුවට සමූහික මිනිස් ක්‍රියාකාරකම් කියලයි මට හිතෙන්නේ.

දුප්පත්කමේ පතුලටම වට්ටවලා තියෙන අපි වගේ රටකට ගොඩ එන්න මේ සාමූහිකත්වය ඉතා වැදගත් කියලා අපි හිතනවා.

අද අපේ අභියෝගය වෙලා තියෙන්නේ ආගාධයට ඇදලා දාලා තියෙන රටක් පුනරුදයක් වෙත ගෙන යාමයි. ඒ පුනරුද රටට ආර්ථික පුනරුදය වගේම සංස්කෘතික පුරුදයත් ඉතා වැදගත් කියලා අපි විශ්වාසාස කරනවා.

අපි ගොඩනගන්නට උත්සාහ කරන “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සහිත රටේ අපේ අනාගත ප්‍රාර්ථනාව තමයි සියලු ආගමික, සංස්කෘතික, කලාත්මක හැකියාවන් එකට එළිදැක්විය හැකි එක බිමක, එක තැනක සියලු සංස්කෘතීන් සහ සංස්කෘතිකාංග එළි දක්වන විචිත්‍රවත් මොහොතක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සියලු ජාතික හා ආගමික උත්සව එකට දකින රටක්. ඒ රට ගොඩනගන්නට සියලු දෙනාටම ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

හොරණ රාජමහා විහාරාධිකාරී මදුරාවල සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT