Monday, April 21, 2025
Home » නොමිලේ ජපානයේ රැකියා අවස්ථා රැසක් – අයදුම් කරන හැටි දැනුම් දෙයි

නොමිලේ ජපානයේ රැකියා අවස්ථා රැසක් – අයදුම් කරන හැටි දැනුම් දෙයි

by chanaka
March 2, 2025 9:17 am 0 comment

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රි ලාංකිකයින්ට ලැබී ඇති අතර, එම රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින්ට අයදුම් කිරීමට අවස්ථාව පවතින බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ රැකියා අපේක්ෂිතයින්ට දැනුම් දෙයි.

කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-35 අතර, තරුණ තරුණියන්ට මෙම රැකියා අවස්ථා නොමිලයේ හිමිවේ.

වසර 5ක කාලයක් සඳහා මෙම රැකියා අවස්ථාවන් හිමිවන අතර, අවම වැටුප ලෙස රු.400,000 කට අධික මුදලක් උපයාගත හැකිය. ජපන් ජාතිකයින්ට හිමිවන සියළු වරප්‍රසාද මෙම රැකියාලාභීන්ටද හිමිවීම මෙම රැකියා කාණ්ඩයේ ඇති විශේෂත්වයකි.

මෙම රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම මේ සඳහා අයදුම් කළ හැකිවේ. අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයකි.

රැකියා අපේක්ෂිත ඉහත සුදුසුකම් සපුරන ලද තරුණ තරුණියන්ට කාර්යාංශ වෙබ් අඩවියේ ඇති වෙබ් ද්වාරය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබේ.

මෙම රැකියා වැඩසටහන යටතේ ජපානයේ හෙද සත්කාර සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවී 2025.03.02 දින ජපානය බලායාමට නියමිත රැකියාලාභීන් පිරිසක් සඳහා ගුවන්ටිකට්පත් ලබාදීම 2025.02.28 දින කාර්යාංශයේදී සිදුකරන ලදී. එම අවස්ථාවට IM Japan ආයතනයේ සාමාන්‍යාධිකාරී තමුරා මහතා, කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (බඳවාගැනීම්) සුසිල් කුමාරපේලි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT