– වී වගාව අසාර්ථක කුඹුරු වෙනත් භෝග වගාවලට
– මිරිදිය මත්ස්‍ය වගාවටත් අවධානය
බණ්ඩාරගම ගොවිජන සේවා බලප්‍රදේශයේ පුරන් කුඹුරු අක්කර 700කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව බණ්ඩාරගම ගොවිජන සංවර්ධන නිලධාරීනී එම්.ඩී.ඩී. ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
ඇය කියා සිටියේ, ඉන් අක්කර 250කට ආසන්න ප්‍රමාණයක් මෙම කන්නයේ වගා කිරීමට සැලසුම් කර තිබෙන බවයි. මෙසේ පුරන් වූ කුඹුරු බහුතරය ප්‍රධාන මාර්ග අයිනේ පිහිටා තිබෙන කුඹුරු යායවල කුඹුරු බවත්, ඒ හේතුවෙන් යායේ වෙනත් කුඹුරු වගා කරන ගොවීන් ද දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවත් ඇය කියා සිටියාය.
ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.
Òමෙම කුඹුරු බොහොමයක් පුරන් වී තිබෙන්නේ, ජලය බැස නොයෑමත්, සතුන්ගේ උවදුරුත් හේතුවෙනුයි. අපි ඒ නිසා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්ගේ තීරණය අනුව ඒ කාණ්ඩයේ වගා කළ හැකි සියලුම කුඹුරුවල වී වගා කරන්න කටයුතු කරනවා. එහෙම බැරි ඒවායේ කෙටිකාලීන භෝග වගා කරන්න දෙනවා. උදාහරණයක් ලෙස බණ්ඩාරගම, කිඳෙල්පිටිය ප්‍රදේශයේ මේ දවස්වල කීර වගාව සඳහා විශාල ප්‍රමාණයකින් ඉල්ලුම්පත්‍ර ලැබී තිබෙනවා. බැරිම ඒවායේ වසර තුනකට කෙටිකාලීන භෝග වගා කරනවා. ඒ තීරණය ගැනීමේ හැකියාව ඇත්තේ, ගොවිජන සේවා කාරක සභාවට සහ ගොවිජන සේවා නිලධාරීන්ටයි. ඊට අමතරව මිරිදිය මත්ස්‍ය වගාව සඳහා හෝ පොල් වගාව සඳහා හෝ බී කාණ්ඩයේ පුරන් කුඹුරු දෙනවා. එයට කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ විශේෂ කමිටුවකින් හා කෘෂිකර්ම කමිටුවෙන් අනුමැතිය ගත යුතුයි. බණ්ඩාරගම ගොවිජන සේවා බලප්‍රදේශයේ වසම් මට්ටමට හරි ප්‍රමාණයට නිලධාරීන් නැහැ. එක වසමක් ආවරණය කරන නිලධාරීන් හතර දෙනයි ඉන්නේ. අනෙක් සියලුම නිලධාරීන් වසම් දෙක බැගින් ආවරණය කරනවා. අවම නිලධාරීන් පිරිසක් සමඟ උපරිමයක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පසුගිය කන්නයේ වී වගා කිරීම අතපසු වුණේ පැවති අයහපත් කාලගුණය නිසා. මොකද සමහර කුඹුරු තුන් පාර වැපිරුවා.
අස්වැන්න හොඳ තත්ත්වයක පවතිනවා. 2025 යල කන්නය සඳහා අපේ සාමාන්‍ය ඉලක්කය වී හෙක්ටයාර් 350ක්. ඒ ඉලක්කය අබිබවා යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සියලු දෙනාගේම කැපවීම බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ඉඩම නිකන්ම තියන්නේ නැතුව වගා කරන්න” යැයි ඉල්ලා සිටිනවා.