Home » කුරුවිට හා කිරිඇල්ලට සුළඟින් දැඩි හානි

කුරුවිට හා කිරිඇල්ලට සුළඟින් දැඩි හානි

by mahesh
February 28, 2025 1:00 am 0 comment

කුරුවිට - කේ.ඒ. සුනිල්

මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවකට දැඩි වියළි කාලගුණයක් පවතින අතර, පසුගියදා (25) පස්වරුවේ කුරුවිට හා කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා හමා ගිය දැඩි සුළඟකින් එම ප්‍රදේශවලට අයත් දොඩම්පේ මිල්ලකඩේ, පාතගම ආදී ප්‍රදේශවල නිවාස ගණනාවක වහලය ගැලවී ගොස් හානි සිදුව ඇති අතර, ඒත් සමඟම දැඩි වර්ෂාවක් ද පතිත වීමෙන් ජනතාව පීඩාවට පත්ව තිබේ. එම සුළඟින් මිල්ලකඩේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ ගොඩනැඟිලි ඇතුළු එම ප්‍රදේශයේ නිවාස 20කට අධික ප්‍රමාණයකට ද හානි සිදුව ඇතැයි විහාරාධිපති කොටපොළ සුධම්ම නාහිමියෝ පැවසූහ. උන්වහන්සේ කියා සිටියේ, මේ හේතුවෙන් ශිෂ්‍ය භික්ෂූන්ගේ නේවාසික පහසුකම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. මේ සමඟම ප්‍රදේශයේ විදුලි, දුරකතන රැහැන්වලට හානි සිදුව තිබේ. රත්නපුර – පානදුර මාර්ගයට ද ගස් කඩා වැටීමෙන් ප්‍රවාහන කටයුතු ඇනහිට තිබූ අතර, ප්‍රදේශවාසීන් එම ගස් කපා ඉවත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් පැයක පමණ කාලයක් ඇනහිට තිබූ ගමනාගමන කටයුතු යළි ආරම්භ විය. ස්ථාන කිහිපයක ගස් කඩා වැටීම හේතුවෙන් විදුලි රැහැන්වලට ද හානි සිදුව තිබූ අතර, පැය දෙකක පමණ කාලයක් ඇනහිට තිබූ විදුලිය ද යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබිණි. විනාඩි 10ක පමණ කාලයක් මෙම දැඩි සුළං තත්ත්වය පැවති අතර, ඉන් නිවාසවලට ගස් කඩා වැටීම් සහ වහලවල උළු මෙන්ම තහඩු ගැලවී යෑමට තරම් එය ප්‍රබල වූ බව එම ප්‍රදේශයන්හි ජනතාව පැවසූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT