Home » මාවරල සිකුරාදා සතිපොළ වල්බිහිවූ අපවිත්‍ර භූමියක්

මාවරල සිකුරාදා සතිපොළ වල්බිහිවූ අපවිත්‍ර භූමියක්

by mahesh
February 28, 2025 1:00 am 0 comment

මාවරල සමූහ - පී. මද්දුමගේ

දකුණු පළාත්, පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මාතර දිස්ත්‍රික් පළාත් පාලන දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාවරල සිකුරාදා සතිපොළ වල්බිහිවූ අපවිත්‍ර පොළ භූමියක් බව වෙළෙන්දෝ මෙන්ම පාරිභෝගික ජනතාව ද පවසති.

පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මඟින්, පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ 2021 වසරේ ක්‍රියාත්මක කරන ලද 2024 වසරේ අනුමත අර්ධ වශයෙන් නිම කළ ව්‍යාපෘති යටතේ ඉදිකර ඇති, ගොඩනැඟිලි හතරක වෙළෙඳ කුටි 40ක් වෙළෙඳුන් භාවිත නොකිරීම නිසා වල්බිහිවී තිබේ. මෙම ගොඩනැඟිලි තුළ සුනඛ ජනාවාස පවතින අතර සුනඛයින්ගේ මල මූත්‍රාවලින් අපවිත්‍රව පවතී. රුපියල් 2,222,231.53ක වියදමකින් ඉදිකර ඇති බවට දැන්වීම් පුවරුද සවිකර ඇති මෙම ව්‍යාපෘතිය 2024.12.23 වන දින වැඩ නිම කළ බවට තොරතුරු අනාවරණය වේ. දැනට වෙ‍ෙළඳපොළට පැමිණෙන වෙළෙඳුන් තම අලෙවි කරන එළවළු සහ වෙනත් දේ කාපට් අතුරා බිම තබා විකණනු ලබන අතර, පොළ භූමියේ බිම අයාලේ යන ගවයන් සහ සුනඛයන්ගේ මල මූත්‍රාවලින් අපිරිසිදුව පවතින බව ද වෙළෙන්දෝ පවසති. සිකුරාදා පවත්වන සති පොළ සෙනසුරාදා දින ප්‍රාදේශීය සභා සේවකයෙකු පැමිණ පිරිසිදු කරන බව සභාවේ ලේකම්වරිය පැවසුව ද එවැනි සේවකයකු සමහර දිනවල නොපැමිණෙන බවත්, පිරිසිදු කිරීමෙන් දින 6ක් පසුවී නැවත පොළ පවත්වන දිනයේ දී ගවයන් හා සුනඛයන්ගේ ගැවසීමෙන් පොළ භූමිය අපිරිසිදු වන බව ද වෙළෙන්දෝ සඳහන් කරති.

මෙම සතිපොළ තුළින් බඩු මිලට ගැනීමට, කැටපල කන්ද, මිල්ලගහවිල, තැන්නපිට, පුවක්ගහහේන, සුන්සහල්හේන, මාවරල, ගොමිල, හැලකන්ද, හල්ගහපොළ, දඩුගස්හේන, රොටුඹ ජනපදය, ගල්කැටිකන්ද, පිටකන්ද, කුඩාපාන, ඇපරලේ, එහරෙල්ලාවල ආදී ගම්මාන රාශියක සිය ගණනක් වූ ජනතාව පැමිණෙන පොළ මාවරල සිකුරාදා සතිපොළ වේ.

පොළ ගැන අදහස් දැක්වූ වෙළෙඳුන් කිහිපදෙනකු පළ කළ අදහස් මෙසේය.

“මාවරල සතිපොළ කලින් ඉතා දියුණු තත්ත්වයක පැවැතුණා. කොරෝනාවලින් පසු එන වෙළෙඳුන් අඩු වුණ නිසා ජනතාවත් පොළට ඒම අඩු වුණා. අබලන් කඩ කාමරවල වෙළෙඳාම් බඩු තියාගෙන විකුණන්න අමාරුයි. අපිරිසිදු තත්ත්වයක් පොළ භූමියේ ති‍ෙයනවා” යනුවෙන් 44 හැවිරිදි බී.ඒ. ලක්තිලක මහතා අදහස් දක්වමින් පවසා සිටියේය.

ටී. ඉන්දික – “එළවළු වෙළෙන්දෙක් හැටියට අපිට එළවළු පොළ භූමිය තුළ නිසි පිළිවෙළකට තියාගෙන අලෙවි කිරීමට පහසුකම් නැහැ. දූවිලි වැදුණු අපවිත්‍ර අබලන් කඩ කාමර තුළ වෙළෙඳාම් කිරීම අනතුරුදායකයි. සවස පොළ ති‍ෙයන නිසා රෑ වෙලා තමයි අපට බඩු ආපසු, එකලස් කරගෙන ගෙනියන්න වෙන්නෙ. රාත්‍රියට ලයිට් එකක්වත් පොළ භූමියට දාල දීලා නැහැ” යනුවෙන් 46 හැවිරිදි ටී. ඉන්දික පවසා සිටියේය.

ආර්.පී.කුමාරසිරි – “මම වෙළෙඳාම් බඩු බිම දමාගෙන විකුණනවා. පොළ භූමිය හතර අතින්ම වල් බිහිවෙලා. වැසිකිළියට යන්න බැහැ වල් වැදිලා. ජල පහසුකම් නැහැ. බදු මුදල් ගෙව්වත් ප්‍රාදේශීය සභාවෙන් වෙළෙඳුන්ට සැලකිල්ලක් දක්වලා නැහැ. පහසුකම් අඩු නිසා වෙළෙඳුන් එනවා අඩුයි. බලධාරීන් මේ අඩුපාඩු ගැන සොයා බලන පාටක් අපට දැන ගන්න නැහැ.” 60 හැවිරිදි ආර්.පී. කුමාරසිරි පවසා සිටියේය.

මේ පිළිබඳව පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම්, ආර්. දිනූෂා මහත්මියගෙන් කළ දුරකතන විමසීමට පිළිතුරු දුන් ඇය පවසා සිටියේ, ලබන 28 වැනිදා අලුත් ගොඩනැඟිලිවල වෙළෙඳකුටි වෙළෙඳුන්ට භාරදීමට පියවර ගන්නා බවත්, පසුගිය කොරෝනා සමයේ පොළ භූමියට සපයා තිබූ විදුලිය සැපයුමේ බිල විශ්වාස කළ නොහැකි අයුරින් ඉහළ අගයක් ගැනීම නිසා විදුලිය අත්හිටුවීමට පියවර ගත් බවත්, සභාවේ කම්කරුවන්ගේ හිඟයක් පවතින නිසා නිසි ලෙස කලට වේලාවට පොළ භූමිය පිරිසිදු කිරීමේ කටයුතු අතපසු වන තත්ත්වයක් පවතින බවත් ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT