බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේ සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම වෙනුවෙන්, උපහාර දැක්වීමක් පසුගියදා (25) විද්‍යාල පරිශ්‍රයන්හිදී සිදු කෙරිණි. එම විද්‍යාලයන්ගේ ආදි සිසුන්, ගුරු භවතුන් සහ සිසු දරු දැරියන් විසින් සංවිධානය කෙරුණු එම අවස්ථාවන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, අනූෂා බානගොඩ මහත්මිය ද එක් විය.
ප්‍රථමයෙන් සාන්ත තෝමස් විද්‍යාලය වෙත පිවිසි නාවික හමුදාපතිවරයා, එම විද්‍යාලයීය විදුහල්පති පාලිත නවරත්න මහතා ඇතුළු ගුරු මණ්ඩලය, ආදි සිසුන් සහ සිසු දරුවන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, විද්‍යාලයීය ශිෂ්‍යභට ඛණ්ඩය විසින් නාවික හමුදාපති වෙත උත්තමාචාර පිරිනැමීම සිදු කෙරිණි. නාවික හමුදාපතිවරයා වෙත දේවාශීර්වාද ප්‍රාර්ථනාවක් සිදු කිරීමෙන් අනතුරුව, විද්‍යාලයීය කෙබ්ල් අනුස්මරණ ශාලාවේදී නාවික හමුදාපතිවරයා විසින් විද්‍යාලයේ සිසු දරුවන් ඇමතීම සිදු කෙරිණි. එහිදී නාවික හමුදාපතිවරයා විද්‍යාලය වෙත පිළිගැනීම සඳහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම් විසින් විචිත්‍රවත් නර්තනාංග ඉදිරිපත් කරන ලදි.
ඉන් අනතුරුව, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට පිවිසි නාවික හමුදාපතිවරයා, එම විද්‍යාලයීය විදුහල්පති විශාකා රාජපක්‍ෂ මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය, ආදි සිසු සිසුවියන් සහ සිසු දරු දැරියන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව විද්‍යාලයීය රණවිරු ස්මාරකය වෙත නාවික හමුදාපති විසින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි. ජාතික ශිෂ්‍යභට බළකායේ 06 වැනි බළඇණියට අයත් විද්‍යාලයීය ශිෂ්‍යභට ඛණ්ඩය විසින් නාවික හමුදාපතිවරයා වෙත උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව, විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී නාවික හමුදාපතිවරයා විසින් විද්‍යාලයේ සිසු දරු දැරියන් ඇමතීම සිදු කෙරිණි. එහිදී නාවික හමුදාපති විද්‍යාලය වෙත පිළිගැනීම සඳහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම්, බාලක බාලිකා බටහිර තූර්යවාදක කණ්ඩායම් මඟින් විචිත්‍රවත් අංගයන් ඉදිරිපත් කරන ලදි.
මේ අවස්ථාවට බණ්ඩාරවෙල සාන්ත තෝමස් හා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල මඟින් බිහි කළ හිටපු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, දැනට සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් ද සහභාගි වී සිටියහ.