සමාජය හොඳින් කියවාගත හැකි, සමාජයට අලුත් දෙයක් එකතු කළ හැකි ලේඛකයන් රටට අවශ්‍ය බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
මාධ්‍යවේදී මුදිතා දයානන්ද විසින් රචනා කරන ලද ‘අකුරු පෙළට යටින්’ කෙටිකතා සංග්‍රහය කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී දොරට වැඩීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ වගේම ලේඛනය තුළින් පෙන්වන දේ තමන්ගේ ජීවිත තුළින් ආදර්ශයෙන් පෙන්වන ලේඛකයන් අවශ්‍ය බව ද ඒ මහතා කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“මුදිතා මට විවිධ අවස්ථාවල විවිධ කාර්යභාරයන් සමඟ හමු වී තිබෙනවා. අද මට ඇය ලේඛිකාවක් ලෙස මුණගැසීම ලොකු සතුටක්. මේ සමාජයට නවක ලේඛකයන් අවශ්‍යයි. එවිට තමයි අපිට ලේඛකයාගේ ලේඛනය හදවතින්ම පිළිගත හැකි නිර්මාණයක් ලෙස වැලඳගත හැක්කේ. ඉතින් මම මුදිතාගෙන් ඉල්ලා සිටින්නේ එවැනි ආදර්ශවත් චරිතයක්, ලේඛනයයි ජීවිතයයි දෙකක් නොවූ චරිතයක් ලෙස ලේඛන කලාවට එකතු වන ලෙසයි. ඒ වගේම අපි අද ආණ්ඩු බලය ලබාගෙන කටයුතු කරද්දී අපෙන් බොහෝ අඩුපාඩු සිදු විය හැකියි. ඒ නිසා අපිවත් නිවැරදි කරගෙන යා හැකි ලේඛකයන් අවශ්‍යයි. ඒ සඳහා අපිව නිර්දය ලෙස විවේචනය කළත් කමක් නෑ. වෙන්න ඕන මේ සමාජය වෙනස් කිරීමයි. ඒක අනුර කුමාරගෙවත් සුනිල් වටගල හෝ සුනිල් හඳුන්නෙත්තිගෙවත් වැඩක් නෙවෙයි. අපි තවම බඩගාන පිරිසක්. අපි ඇවිදින වයසට එනකොට අපිට වඩා ශක්තිමත්ව ඇවිදින්න පුළුවන් තව කවුරු හෝ බිහිවෙනවා නම් ඒක තමයි විය යුත්තේ. කවුරු වුණත් කමක් නෑ, මේ සමාජය අපේ අනාගත පරපුරට ජීවත් විය හැකි රටක් බවට පත් කිරීමයි කළ යුත්තේ. ඒ සඳහා ලේඛක ලේඛිකාවන්ට, කලාකරුවන්ට විශාල කාර්යභාරයක් පැවරෙනවා. මම බලාපොරොත්තු වෙනවා මුදිතා ඒ කාර්යභාරය ඉටු කිරීමට දායකත්වයක් දෙයි කියලා.”
මේ අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල, සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා, දෙයියන්දර ගමගේ පොත් ප්‍රකාශන අධිපති අමිල චින්තක ගමගේ, ප්‍රවීණ ලේඛිකාවන් වන කරුණා කුමාරසිංහ, පුෂ්පා ඉලංගතිලක මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන්, මාධ්‍යවේදීන් රැසක් ද එක්ව සිටියහ.