රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වීය.
ඊයේ (27) සහ පෙරේදා (26) දෙදින මේ සාකච්ඡා පැවැති අතර ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මුහුදේ සිදු කරන මෙහෙයුම්, මුහුදු මාර්ගයෙන් සිදුවන අවි ජාවාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම ඇතුළු ගැඹුරු මුහුදේ සිදු කරන නිරීක්ෂණ මෙහෙයුම් පිළිබඳ නාවික හමුදා නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානයට ලක් විය. එමෙන්ම ශක්තිමත් ගුවන් හමුදාවක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩි දියුණු කිරීම සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම්වලට ගුවන් හමුදාවේ සහාය ලබාදීම පිළිබඳව ගුවන් හමුදා නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණි. මෙවර අය – වැයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණය මෙන්ම ගුවන් හමුදාවේ දැනට තිබෙන අවශ්‍යතා මොනවාද යන්න පිළිබඳවත් මෙහිදී අවධානයට ලක් විය.
ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඇතුළු ඉහළ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.