Wednesday, April 23, 2025
Home » දේශීය නර්තනයේ ඇති කරන්නේ පිරවිය නොහැකි හිඩැසක්
පීටර් සූරසේන නර්තන ඇදුරුගේ වියෝවෙන්

දේශීය නර්තනයේ ඇති කරන්නේ පිරවිය නොහැකි හිඩැසක්

බුද්ධ ශාසන ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ශෝක පණිවිඩයකින් කියයි

by mahesh
February 28, 2025 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

උඩරට වෙස් නැටුමෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හැඩකරන්න අඩසියවසකට වැඩි කාලයක් මුළුල්ලේ කැපකිරීම් කළ පීටර් සූරසේන නර්තනාචාර්යවරයාගේ වියෝව හේතුවෙන් දේශීය නර්තන කලාවේ ඇතිවන හිඩැස කිසිලෙසකින් හෝ පිරවිය නොහැකි බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

පෙරහර මංගල්‍යයට සම්බන්ධව විශිෂ්ට හා අතිවිශිෂ්ට වෙස් නැටුම් ශිල්පියාට හිමි ජනාධිපති සම්මානය 35 වතාවක් දිනා ගැනීමෙන් සූරසේන මහතා පෙරහර වෙනුවෙන් කළ කැප කිරීම තේරුම් ගැනීමට හැකි බව ද ඒ මහතා කීය.ප්‍රවීණ නර්තානාචාර්ය පීටර් සූරසේන මහතාගේ අවමංගල්‍යය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කරයි.

සූරසේන මහතාගේ දේහය අරුප්පොළ පිහිටි සේසත සූරසේන කලායතනයේ තැන්පත් කර තැබීමෙන් පසු අවසන් කටයුතු පෙ‍රේදා (26) මහනුවර, මහයියාව ආදාහනාගාරයේ දී සිදු කෙරිණි. අවසන් කටයුතු සිදු කිරීමට පෙර ආගමික වතාවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කරන ලදි.

එහිදී හිනිදුම සුනිල් සෙනෙවි ඇමැතිවරයා විසින් යොමු කර තිබූ ශෝක පණිවිඩිය අවමංගල්‍යය සභාවට ඉදිරිපත් කෙරුණු අතර එහි මෙසේ ද සඳහන් විය.

නර්තනයට සුරුවිරුකම් පෑ දෙටු නර්තන ගුරුවරයකුගේ නික්මයෑම සම්බන්ධව ශෝකය දනවයි. රූපය දිරයි-නාමය නොදිරයි යන බුදු වදන මෙතුමාට ද එකසේ අදාළය. රූපකායෙන් අපෙන් සමුගෙන යන නමුත් සූරසේනගේ නාමය ශ්‍රී ලාංකේය නර්තන කලාව පවතින තාක් රන් සලකුණින් ඉහළින්ම සනිටුහන්ව තිබෙනු ඇත. 1940 ජනවාරි 13 වැනි දින බලි හා යාතුකර්මවලට ප්‍රසිද්ධ පරම්පරාවක උරුමය සහිතව උපන් සූරසේන මහතා කුඩා කල සිටම තම පරම්පරාවෙන් ලත් ආභාසය ද හේතුකොටගෙන නර්තනයට රුචි වූයේ, එහිම නිපුණ වී අමුණුගම සුරඹා ගුරුන්නාන්සේගෙන් ශිල්ප ශාස්ත්‍රොද්ග්‍රහණයට යොමුව දොළොස් වසකට පසු අමුණුගම, දෙගල්දොරව රජමහා විහාරස්ථානයේ දී සුබ නැකතින් හිස වෙස් බැඳ කළඑළි බැසීමෙන් ආරම්භ වූ එතුමාගේ නර්තන ජීවිතය තිත්තපජ්ජල, නිත්තවෙල හා රන්ගම යන නැටුම් පරම්පරා ත්‍රිත්වයේ ශාස්ත්‍රීය රහස්වලින් පෝෂණය විය. මහනුවර දළදා පෙරහරේ දියවඩන නිලමේට ඉදිරිපසින් ගමන් කරන වෙස් නැටුම් කණ්ඩායමේ වගකීම් දරන ප්‍රධාන වෙස් නැටුම් ශිල්පියා ලෙස කටයුතු කළ එතුමා තිස්පස් වතාවක් මහනුවර දළදා පෙරහරේ විශිෂ්ටතම වෙස් නැටුම් ශිල්පියා ලෙස ජනාධිපති සම්මානයට පාත්‍ර විය.

වෙස් නැටුම් කට්ටලය සාම්ප්‍රදායානුකූලව වඩාත් නිවැරදිව හා අලංකාරවත්ව පැලඳීමෙන් එතුමා ඊට එක් කළ අලංකාරය නර්තනය ඉගෙන ගන්නා කාහටත් සපයන්නේ ඉමහත් ආදර්ශයකි. බටර්ෆලයි ඩාන්සර් ලෙස ලෝ පතළ වූ මේ මහා කලාකරුවා ජපානය වැනි රටවල උඩරට නර්තන කලාව ප්‍රචලිත කිරීමට ගත් වෙහෙස කා‍ගේත් ප්‍රශංසාවට පාත්‍රවිය.

මෙරට මුල්ම රාජ්‍ය නැටුම් කණ්ඩායමට ද ඇතුළත්වීමේ අවකාශය ලද සූරාසේනයන් අමෙරිකාව, ඉන්දියාව ආදි විවිධ දේශදේශාන්තරයන්හි අපගේ නර්තන ලකුණ නොමැකෙන අයුරින් තබා පැමිණි විශිෂ්ට නර්තන ශිල්පියෙකි.

සිය අවසන් හුස්ම යනතෙක්ම තමාගෙන් සිදුවිය යුතු මෙහෙවර ශ්‍රී ලාංකේය නර්තන කලාවට ඉටුකළ මේ ශ්‍රේෂ්ඨ නර්තනාචාර්යවරයා අද එම මෙහෙවර කටයුතු නිමාකර නව පරම්පරාව අත එම යුතුකම් හා වගකීම් තබා අප අතරින් වෙන්ව ගොස් ඇත. කෙසේ නමුත් එතුමාගෙන් හිස්වන දළදා පෙරහරේ එතුමාට හිමි ස්ථානයේ අඩුව අපට හෙටත් දැනෙනු ඇත. මෙවර දළදා පෙරහර නැරඹීමේ දී ඒ අඩුව වඩා අපට දැනෙනු ඇත.

ඡායාරූප-

රුවන් මීගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT