Home » මෙවර අය-වැයේ ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් නැහැ

මෙවර අය-වැයේ ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් නැහැ

හිටපු ඇමැති ඩිව් ගුණසේකර

by mahesh
February 28, 2025 1:00 am 0 comment

රන්මලී සෝමසිරි සහ දුලක්ෂි උඩගෙදර

දේශීය හෝ ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳ විග්‍රහයකින් තොරව ඉදිරිපත් කළ මෙවර අය-වැය තුළ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමේ කිසිදු විසඳුමක් ඇතුළත්ව නැතැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා පැවැසීය.

හිටපු ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (27) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

“නව අය-වැයක් ඉදිරිපත් කරනවිට රටේ ආර්ථිකය පිළිබඳත්, ගෝලීය ආර්ථිකය පිළිබඳවත් ගැඹුරු විග්‍රහයක් කරන්න ඕනෙ. ගෝලීයකරණය වූ ලෝක ආර්ථිකයක් තුළ අපේ ප්‍රශ්න හුදෙකලාව විසඳන්න බෑ. ඒ නිසයි ගෝලීය ආර්ථිකය ගැන ගැඹුරු විග්‍රහයකුත් අය-වැයෙන් කෙරෙන්න ඕනෙ. ඒ කියන්නේ මෙවර අය-වැය දේශීය හෝ ජාත්‍යන්තර ආර්ථිකය පිළිබද කිසිදු විග්‍රහයකින් තොරව ඉදිරිපත් කළ එකක්.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව රටවල් 143ක් නිදහස ගත්තා. ඒ අතරින් රටවල් 5යි අයි. එම්. එෆ්. සංවිධානය සංවර්ධිත රටවල් ලෙස ප්‍රකාශ කර තියෙන්නේ. බ්‍රික්ස් සංවිධානය හැදිලා තියෙන්නේ ඒ රටවල එකතුවෙන්. අනික් රටවල් 138ම සංවර්ධනය වෙමින් පවතින, සංවර්ධනය නොවූ සහ ඌන සංවර්ධිත රටවල්. ඒ අතරිනුත් රටවල් 60%ක් ණය අර්බුදයක හිරවෙලා. මේ ආර්ථික රටාව, ආර්ථික බලතුලනය, ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය කියන අපට නොපෙනෙන ආර්ථික ප්‍රශ්නය නිසයි අපේ රටට මෙහෙම වුණේ.

වර්තමාන ණය අර්බුදය ගැන 2009දී පාර්ලිමේන්තුවේදී මම කතා කළා. ඩී. එස්. සේනානායකගේ සිට 2010 වසරේ මහින්ද රාජපක්ෂ දක්වා ණය ගත්තේ වෙනත් ආණ්ඩුවලින් අඩු පොලියට. ඊට පස්සේ රට ඇතුළේ ණය ගන්නෙත්, ජාත්‍යන්තරයේ ණය ගන්නෙත් අයි. එම්. එෆ්. වගේ ජාත්‍යන්තර පොලී මුදලාලිලගෙන්. දැන් ණය ගෙවාගන්න බැරි තැනට පත්වෙලා. රට බංකොලොත් කියලා මහ බැංකු අධිපති කියනකොට ඇමැති මණ්ඩලය දන්නෙත් නෑ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන දවසේ මාතර උයන්වත්තේදී මම ඔහුට දුන්නා, ළඟදීම එන ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය ගැනත් හදපු පත්‍රිකාවක්. එය ඔහු හිනාවෙලා භාර ගත්තා. කොවිඩ් ආවට පස්සේ කැබිනට් එකත් එක්ක පක්ෂ නායකයන් රැස්වුණා. ඒ වෙලාවේදීත් මම කිව්වා, කොවිඩ් පාලනය කරන්න අපේ තියෙන වෛද්‍ය පද්ධතියත් වෛද්‍යවරුනුත් දක්ෂයි. නමුත් ඊට වඩා විශාල ප්‍රශ්නයක් වන ආර්ථික අර්බුදයක් ඉදිරියේදී එනවා. ඒකට වේලාසන ජනතාවත්, මන්ත්‍රීවරුනුත් දැනුම්වත් කරන්න කියලා. ඒ කිව්වාමත් හිනා වුණා. ඒ වේලාවේදී කිව්වා, මේ ගැන අවබෝධය යොමු නොකළොත් ඔබතුමාට ඡන්දය දුන්න හැට නව ලක්ෂය එදාට තමුන්නාන්සේ එක්ක හිටගන්නේ නෑ කියලා. පිස්සුවට බෙහෙත් තිබුණත් මෝඩකමට බෙහෙත් නෑ. ”

පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වූවේය.

ඡායාරූපය – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT