මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනුරාධපුර නගරයට කිලෝමීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි “ගල්කඩවල මහ වැවෙහි” ධීවරයෝ ගැටලු රැසකින් පීඩාවට පත්ව සිටින බව ඔවුහු පවසති. මෙතෙක් කිසිදු අවස්ථාවකදී නොමිලේ හෝ සහන පදනමින් හෝ රජය මඟින් ලබා දෙන දැල් ආම්පන්න ආදිය මෙහි ධීවරයින් වෙත ලැබී නොමැති බව ඔවුහු පවසති. වසර ගණනාවකින් වැව වෙත මත්ස්‍ය පැටවුන් මුදාහැරීමක් ද සිදුකොට නොමැති බව ධීවරයෝ පෙන්වා දෙති. කලක සිට වැව ආශ්‍රිතව ධීවර රැකියාවෙහි නිරතවන “දිමුතු ප්‍රසන්න” මහතා මෙසේ පැවසුවේය.
“කවමදාකවත් මේ වැවට මාළු පැටවු දාලා නෑ. ඒ හින්දම දැන් මාළු අහුවෙන්නේ හරි අඩුවෙන්. දවසකට කිලෝ දෙක තුනක් අල්ල ගන්නවා කියන එකත් ලොකු ජයග්‍රහණයක්. දැන් පොඩි මාළු පැටියෙක් රුපියල් පහක් විතර වෙනවා. අඩුම තරමින් මේ වැවට මාළු පැටවු ලක්ෂයක්වත් ඕන. ඉතින් ඒකට ලක්ෂ පහක් විතර ඕන. එච්චර වියදමක් කරන්ඩ අමාරුවෙන් ජීවත්වෙන අපිට හයියක් නෑ. කවුරු හරි මැදිහත් වෙලා මේ වැවට මාළු පැටවු ටිකක් දාලා දෙනවා නම් ලොකු සහනයක්.”
කුඩම්මාගේ සැලකිලි හේතුවෙන් සිය දෛනික මාළු අස්වැන්න කිලෝ දෙක තුනකට පමණක් සීමා වී ඇති බව ධීවරයෝ පවසති. වෙළෙඳපොළ තුළ ඔරු, දැල් ආම්පන්න ආදියෙහි මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ද ඔවුහු පැවසූහ. ගල්කඩවල ගම්මානයෙහි පිහිටි අක්කර අඩි දහසකට ආසන්න විශාලත්වයකින් යුතු ගල්කඩවල මහ වැවෙහි තොටුපළ තුනක, ධීවරයින් 30 දෙනකු පමණ රැකියාවේ නිරතව සිටින බවත් වැවෙන් දිවි සරිකරන කුඩා පෙට්ටි මාළු වෙළෙඳුන් කිහිපදෙනකු සිටින බවත් ධීවරයෝ පැවසූහ.
ධීවර පවුලක සාමාජිකාවක වන “අනුෂා දිල්රුක්ෂි” මහත්මිය මෙසේ පැවසුවාය.
“වැවට මාළු පැටවූ දැම්මේ නැත්නම් ඉස්සරහට මේ වැවේ ධීවර රස්සාව කරන්ඩ වෙන්නේ නෑ. වැවෙන් රස්සාව කරලා ජීවත්වෙන පවුල් තිහක් විතර ඉන්නවා. සමහරු මාළු අහුවෙන්නේ නැති හින්දම රස්සාව අත්හැරලා දැම්මා. මේ හින්දා වැවෙන් මාළු ගන්ඩ එන වෙළෙන්දොත් අසරණ වෙලා ඉන්නේ. වැවෙන් ජීවත් වෙච්ච මිනිස්සු වැවේ රස්සාව අත්ඇරලා වෙන මොනවා කරන්ඩද. කොහොමද අපි දරුවෝ ජීවත් කරවන්නේ.”
ලැබෙන මාළු අස්වැන්න දැඩි ලෙස පහත බැස ඇති බැවින් සිය වියදමෙන් වැව වෙත මාළු පැටවුන් මුදාහැරීම දුෂ්කර වී ඇතැයි ද ධීවරයෝ පවසති. ධීවර සමිතියක් ආරම්භ කිරීමට උත්සාහ කළ ද මෙතෙක් එම උත්සාහයද සාර්ථක වී නොමැති බව ඔවුහු සඳහන් කළහ. තමන් දැඩි ලෙස අසරණව සිටින බව මෙම ධීවරයෝ පැවසූහ. සිය ජීවනෝපායට යම් සහනයක් සලසා දෙන ලෙස ඔවුහු වගකිවයුත්තන් වෙතින් ඉල්ලීමක් කරති. පළපුරුදු ධීවරයකු වන “සමන් කුමාර” මහතා කළේ මෙවැනි ඉල්ලීමකී.
“අපි හැමෝම දරු පවුල් ජීවත් කරන්නේ මේ රස්සාවෙන්. ඉස්සර රුපියල් පනස්පන්දහසකට තිබ්බ ඔරුවක් දැන් රුපියල් ලක්ෂයකට වැඩියි. අපිට කිසිම කෙනෙක් කවමදාකවත් දැලක්, ඔරුවක් දීලා නෑ. ටියුබ්වල නැඟලා ගිහිල්ලා තමයි අපි මාළුවෙක් අල්ල ගන්නේ. මේ ගල්කඩවල වැවේ ධීවර රස්සාවෙන් ජීවත්වෙන මිනිස්සු ඉන්නවා කියලා සමහර දන්නෙත් නෑ. සමිතියක් හදාගන්ඩ කාගෙන්වත් උදව්වක් ඇත්තෙත් නෑ.