මේ කියන පුද්ගලයා එක්තරා සුළු දේශපාලන පක්ෂයක දිස්ත්‍රික් සංවිධායකවරයෙකි. ඔහු එක් මැතිවරණයකට මුහුණ දුන්නේය. පසුව එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය දේශපාලන පක්ෂය නියෝජනය කරමින් ඔහු ද මැතිවරණයට ඉදිරිපත් වූයේ පරාජය දැක දැකය. ඔහු වටා සැලකිය යුතු ආධාරකරුවන් පිරිසක් ද නොවීය. මොහු හැඩිදැඩි තරුණයකුගේ පියෙකි. සිය පියා මේ මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඔහුගේ පුතාගේ නම් තිබුණේ දැඩි අකමැත්තකි. එක දවසක් ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමවා දිවා ආහාරයට නිවෙසට ගොඩවූහ.
දිවා ආහාරය භුක්ති විඳි ඔවුහු අතුරුපසට මේසය උඩ තබා තිබූ කෝලිකුට්ටු කෙසෙල් ඇවරියෙන් ගෙඩි කිහිපයක් කඩාගෙන කෑමටද අමතක නොකළහ.
ඒ මොහොතේ නිවෙසේ කාමරයක සිටි හැඩිදැඩි පුතා සාලය මැදට කඩා වැදී කෑ ගසන්න වූයේ එතැන හුන් සියල්ලන්ම වික්ෂිප්ත කරමිනි.
‘‘කවුද යකෝ මං ගෙනාපු කෝලිකුට්ටු ඇවරිය කෑවේ… මේක ගෙනාවේ මගේ ළමයින්ට මිසක් කාටවත් කන්න නෙමෙයි. කාටහරි ඕනෑ නම් තාත්තාගෙන් ඉල්ලගනිල්ලා. මේක මගේ කෙහෙල් ඇවරිය.“ යැකි කියූ ඔහු මේසය මත තිබූ ඉතිරි කෙසෙල්ටික පොළොවේ ගැසුවේය.
‘‘මොකද පුතේ මේ කෑ ගහන්නේ.මම අලුත් එකක් ගෙනත් දෙන්නම්කෝ. ඕකට කෑගහන්න ඕනෑද?“ ඔහු සිය පුතා දෙස නොබලාම කීවේය.
‘‘මේ … ඔය කැලේ පනින එවුන් සමඟ මගේ ඇයි හොඳයියක් නෑ. මට දැම්මම කෙහෙල් ඇවරියක් ඕනෑ. මොන තූත්තුකුඩියෙන් හරි කමක් නෑ.“
ඒ මොහොතේ කෑමවල රස බලා ගිමන් නිවමින් සිටි පිරිස වහාම නිවෙසින් පිටව පාරට ගියේ මේ ගෝරනාඩුව අසා සිටිය නොහැකි නිසාය.
වහාම කතානායකයා අසල කඩයට දිව යන අයුරුත් එතැනින් හොඳවායින් කෝලිකුට්ටු ඇවරියකුත් ගෙන වෙඩිල්ලක් වගේ නිවෙසට විත් මේසය මත තබන අයුරුත් ඔහුගේ ආධාරකරුවෝ බලා සිටියේ විමතියෙනි.
එදායින් පසු මැතිවරණ ප්‍රචාරක ආධාරකරුවන් ඒ නිවසට ගියේ නැත. එතැන් සිට හැඩිදැඩි තරුණ පුතාට නම් ගමේ පාරේ බැහැලා යන්න බැරි විය. ඔහු දකින දකින තැන කොල්ලෝ කුරුට්ටෝ කෑ ගසන්නේ, ‘‘කෝලිකුට්ටුවා“ යනුවෙනි.
මාදම්පේ සමූහ
ඒ.පී.ගුණරත්න