– පොලීසියයි බෝට්ටුකාරයයි කියන්නේ බොරු
– ධීවරයාගේ බිරිය සාධාරණය ඉල්ලයි
මගේ මහත්තයා ගිය බෝට්ටුවට අකුණු ගහලා නැහැ. ඒ තියෙන්නේ වෙඩි පාරවල්.අකුණු වැදුණා නම් පිච්චෙන්න ඕනෑ. කිසිම තැනක පිච්චිලා නැහැ. අනිත් දෙන්නාට මොනවත් නැතිව එයාට විතරක් අකුණු ගහන්නේ කොහොමද? පොලීසියත් අපව රවට්ටනවා යැයි මුහුදු ගිය ධීවරයකු ගමන් කළ යාත්රාවට අකුණු සර වැදීමෙන් පසු ඔහු මුහුදට වැටී අතුරුදන් වූ බව කියන සිද්ධියේ ධීවරයාගේ බිරිය එසේ විලාප නැඟුවාය. සැමියාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමින් ඇය මෙලෙස හඬා වැටුණාය.මෙසේ අවාසනාවන්ත ලෙස අතුරුදන් වූයේ කල්පිටිය, කන්දකුලිය, ඊච්චන්කාඩුව පදිංචිව සිටි ලක්ෂ්මන් දිසානායක නමැති 40 හැවිරිදි ධීවරයෙකි. මේ ධීවරයා ඉකුත් 25වැනි දින සවස කන්දකුලිය ධීවර තොටුපොළින් මුහුදු ගොස් ඇත්තේ අදාළ යාත්රාවේ හිමිකරු හා තවත් අයකු සමඟින් බව කියයි. යාත්රාවේ හිමිකරු එදිනම රාත්රියේ ආපසු ගොඩබිමට පැමිණ ඇත්තේ යාත්රාවට අකුණු සර වැදීමෙන් රැකියාවට ගිය ලක්ෂ්මන් මුහුදට වැටී අතුරුදන් වූ බව පවසමිනි.
යාත්රා හිමිකරු හා කල්පිටිය පොලීසියේ අදාළ පරීක්ෂණය භාරව සිටි පොලිස් නිලධාරියා මේ සිද්ධිය යටපත් කිරීමට කටයුතු කරන බවත් අතුරුදන් ධීවරයාට හෝ යාත්රාවට කිසිම අකුණු සරක් වැදී නැති බවත් ඔහුගේ ඥාතීහු චෝදනා කරති.
මේ වනවිට මුහුදේ අතුරුදන් වී ඇති ධීවරයාගේ බිරිය වන 40 හැවිරිදි හපුආරච්චිගේ සිල්වියා මහත්මිය දැඩි වේදනාවෙන් මෙලෙස පැවසුවාය.
“ 25වැනිදා හවස එයා මුහුදු යන්න ඇඳුම් දානවිට මම ඇහුවා කාත් එක්ක ද යන්නේ කියලා.එතකොට ලකී එක්ක යනවා කීවා. ඒ වේලාවේ මම ඇහුවා කවදාවත් නොගිය කෙනෙක් එක්ක ඇයි යන්නේ කියලා. මොකද ඔය මනුස්සයා ජාවාරම්කාරයෙක් කියලා මුළු ගමම දන්න නිසයි මම එහෙම ඇහැව්වේ. ඒ වුණාට එයා කීවා මම ගිහින් එන්නම්කෝ කියලා. ඉන් පස්සේ මම මොනවත් කියන්න ගියේ නැහැ. පස්සේ බෝට්ටුව 25 වැනිදා රෑ වෙද්දි ගොඩට ඇවිත් තිබුණා. ඊට පස්සේ අපට පණිවිඩයක් එව්වා. බෝට්ටුවට අකුණක් ගහලා ලක්ෂ්මන්ට වැදිලා මුහුදට වැටුණා කියලා. පස්සේ 26 වැනිදා උදේම ගමේ අය බෝට්ටුව බලන්න ගියා. මමත් දරුවෝ දෙන්නත් ගියා. අපේ සියලු දෙනා බලලා තේරුම් ගත්තේ අකුණු කතාව බොරුවක්. මුහුදේදි කවුරු හරි වෙඩි තියලා කියලා. මොකද ඔය බෝට්ටුකාරයා ජාවාරම්කාරයෙක්. මුහුදේදී මොනවා හරි වෙලා ඉන්දියන් බෝට්ටුවකින් වෙඩි තියන්න ඇති කියලා අපට විශ්වාසයි. අනික මගේ මහත්තයා මුහුදට වැටුණා කීවාට හොයන්න ඔය බෝට්ටුකාරයාට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. අපි අහන්නේ ඇයි අර අහිංසකයා මුහුදේ දාලා ආවේ කියලා. මෙයාලා ලොකු බොරුවක් කරන්නේ. මේ වුණු අපරාධය එළිවෙන නිසා මුහුදට දාලා ඇවිත්. බෝට්ටුව දැකපු ගමන් තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන දේ. අකුණු ගැහුවා නම් අනිත් දෙන්නාට මොනවත් වුණේ නැත්තේ මොකද කියලා මම අහන්නේ. දැල් ආම්පන්න කිසිම දෙයකට හානියක් වෙලා නැහැ. අඩුම තරමින් අකුණක් ගැහුවා නම් දැල් ආම්පන්න පොඩ්ඩක් හරි පිච්චිලා යන්න ඕනෑ. බෝට්ටුවට වැදුණු වෙඩි නිසා ඇතුළේ තිබුණු ලී පෙට්ටියක් කෑලි කැඩිලා ගිහින් විතරයි. අපි පොලිස්පතිට කියන්නේ මේ අපරාධය හොයලා දෙන්න කියලයි. නැතිනම් ජාවාරම්කාරයන් කියන කතාවලින් මේ අහිංසකයාට සාධාරණය ඉටුවෙන්නේ නෑ” යැයි පැවසුවාය.
අතුරුදන් වූ ලක්ෂ්මන්ගේ වැඩිමල් දියණිය මෙසේ කීවාය.
“තාත්තා අහිංසකයි.එයා සතෙකුටවත් කරදරයක් නැති කෙනෙක්. එදා රස්සාවක් නැති නිසයි ඔය බෝට්ටුකාරයාගේ බෝට්ටුවේ ගිහින් තිබෙන්නේ. ඒ මිනිස්සු ජාවාරම්වලින් ජීවත්වෙන මිනිස්සු. අපි දන්න විදිහට මුහුදේ ජාවාරම් තදින් කරන මනුස්සයෙක්. ඒ අපරාධකාරයන්ට කිසිම හානියක් නැහැ. කිසිම දෙයකට නැති මගේ අහිංසක තාත්තාට ඇයි මෙහෙම වුණේ කියා අපට දරාගන්න බැහැ. ඇත්තටම බෝට්ටුවට අකුණු ගහලා නැහැ. ඒ තියෙන්නේ වෙඩි පාරවල්. හොඳට බලපුවාම හිතාගන්න පුළුවන් වෙලා තියෙන දේ. මේක හරිම අසාධාරණයක්. අපට සාධාරණයක් ඉටු කර දෙන්න.”
නම් හෙළි කිරීමට අකැමැති වූ කන්දකුලියේ අයෙක් මේ සිද්ධිය ගැන පවසා සිටියේ ලක්ෂ්මන් මුහුදු ගිය යාත්රා හිමිකරු මුහුදු කොල්ලකරුවකු බවයි. ඒ ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන රන්, කේරළ ගංජා, බීඩි කොළ ඇතුළු විවිධ දෑ ඉන්දියන් ධීවර යාත්රාවල සිටින ධීවරයන් මහ මුහුද මැදදී බිය වද්දවා ඒවා පැහැරගෙනවිත් අලෙවි කරන අයකු බවට ප්රසිද්ධ බවයි. මොහුට කල්පිටිය පොලීසිය මඟින් දැමූ නඩු කිහිපයක් ඇති බව ද පැවසීය.