සංවිධානාත්මක පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව නැමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය යැයි කියන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 11ක් යොදවා රටපුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
තවත් පොලිස් කණ්ඩායමක් අවශ්‍ය කටයුතු සඳහා ඩුබායි රාජ්‍යයට පිටත්කර යවා ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම් දෙකක්ද එම මෙහෙයුමට සම්බන්ධ බවත්, මෙම සිද්ධියට සම්බන්ධ සහ එම ඝාතනය මෙහෙය වූ විදෙස්ගත පාතාල කල්ලි නායකයින් හැකි ඉක්මනින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් සුනිල් වටගල මහතා පවසයි.
මෙම සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට විදේශ රටකට පැන යාමට නොහැකි වී ඇති බවත් ඇය මෙරට තුළ සිටින්නේ යැයි තොරතුරු වාර්තා වන බවත් ඔහු පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 10ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගනිමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවත් ඩුබායි සිට මෙම ඝාතනය මෙහෙය වූ ආකාරය සහ කාන්තාව පසුගිය වසරේ නොවැම්බර් සිට වෙඩික්කරු සමග මිතුරු වී ඝාතනය සැලසුම් කළ ආකාරය ගැන තොරතුරු රැසක් පොලිස් විමර්ශන හරහා අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
වෙඩික්කරු ලෙස අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටීම නිසා ඉතාමත් පහසුවෙන් වෙඩික්කරුවකු වශයෙන් එම ඝාතනයට පුහුණු කර ගැනීම පහසු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සහය දැක් වූ පොලිස් නිලධාරීන් සම්බන්ධව ද බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, ඩුබායි සිට ඝාතනය මෙහෙය වූ අපරාධ මිනීමැරුම් සම්බන්ධව පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධය සහ ඔවුන් එම පාතාල කණ්ඩායම් සාමාජිකයන් අතර තොරතුරු හුවමාරු කර ගත්තේ ද යන්න පරීක්ෂණ කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය වටගල මහතා වැඩිදුරටත් පවසා ඇත.