පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට කළ කුමන්ත්‍රණයක් බවට කළ ප්‍රකාශ මඟින් පැවැති ආණ්ඩුව කෙරෙහි මහජනයා තුළ අසන්තෝෂයක් ඇති කිරීමට උත්සාහ කළේය යන චෝදනාව යටතේ සමාජ ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේට විරුද්ධව ගොනු කර ඇති නඩුව පිළිබඳ නීතිපතිගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (27) නියෝග කළේය.
තවද නඩු කටයුත්ත පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් නීතිපතිගේ ඉහළ නියෝජනයක් අවශ්‍ය බව මහාධිකරණය දැනුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.
ගරු විනිසුරුතුමනි, පාස්කු ඉරුදින ප්‍රහාරය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගෙ අනුදැනුමින්, ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා සිදුකළ දේශපාලන කුමන්ත්‍රණයක් බවට චුදිත ශෙහාන් මාලක සමාජ මාධ්‍යය තුළ සිදුකළා යැයි කියන ප්‍රකාශය මඟින් පැවති රජය කෙරෙහි ජනතාව අතර අසන්තෘෂ්ටියට හා අනාදරයට පත් කළේය යන චෝදනාව මත නීතිපති දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඒ කියන්නෙ, චුදිතට එරෙහිව නඩු පැවරීම සිදුකර තිබෙන්නේ එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් සිදු නොවූවා කියන පදනමේ සිටයි.
ස්වාමිනී, මේ මොහොතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් පාස්කු ඉරුදින ප්‍රහාරය ඉහත සඳහන් කළ ආකාරයේ දේශපාලන කුමන්ත්‍රණයක් කියන කාරණාව ඇත්තක්ද? නැත්තක්ද? කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පරීක්ෂණ ඉදිරියට කරගෙන යෑම සම්බන්ධයෙන් උපදෙස් දීම කරනවා. මේ පරීක්ෂණ තවම අවසන් නැහැ.
ස්වාමිනී, එකම කාරණය සම්බන්ධයෙන් නීතිපතිවරයාට, නීතිපති දෙපාර්තමේන්තුවට ස්ථාවරයන් දෙකක් තියෙන්න බැහැ. නීතිපති දෙපාර්තමේන්තුවට තියෙන්න පුළුවන් එක ස්ථාවරයයි. ඒ නිසා මෙම කාරණය සම්බන්ධයෙන් නීතිපති නියෝජනයකට අවසර අවශ්‍ය බවට අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා යැයි කියා සිටියේය. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය කුමක්දැයි මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා රජයේ අධිනීතිඥවරයාගෙන් විමසා සිටියේය. ඒ සඳහා ඉහළ උපදෙස් අවශ්‍ය බවට නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ධම්මික උඩවත්ත මහතා අධිකරණයට දන්වා සිටියේය. විත්තිය ඉදිරිපත් කළ කාරණය සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය මීළඟ නඩු දින අධිකරණයට දන්වන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්ෂිකරු වන සුගත් හේවාපතිරණ තාවකාලිකව මුදාහැරීමට නියම කළේය. ලබන මැයි 26 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය.
මරදාන පාතිමා දෙව්මැදුරේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැති රජය කෙරෙහි ආණ්ඩුවට විරුද්ධව හැඟීම් ඇවිස්සෙන ආකාරයේ ප්‍රකාශයක් කිරීම මඟින් රට වැසියන් තුළ අසන්තෝෂයක්, වෛරයක් ඇති කිරීමට උත්සාහ කළේය යන චෝදනාව යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ චුදිතට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.