Home » ට්‍රම්ප් යුද සිතියම වෙනස් කරයි ද?

ට්‍රම්ප් යුද සිතියම වෙනස් කරයි ද?

by mahesh
February 28, 2025 1:05 am 0 comment

අමෙරිකාව මැදිහත්වීමෙන් යුක්‍රේන යුද්ධය නිමා වෙයිද? අමෙරිකාවේ සහාය රුසියාවට ලබා දීමට හේතුව කුමක්ද? ආදී කරුණු කාරණා පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ආචාර්ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පවිත්‍රා ජයවර්ධන මහත්මිය සමඟ කළ සාකච්ඡාව ඇසුරිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණයේ ප්‍රධාන තේමාවක් වූයේ යුක්‍රේනය සඳහා වැය කරන අ‍මෙරිකානු බදු මුදල් රට තුළට ආපසු ගෙන ඒමයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර වේදිකාවලදී ද මේ යුද්ධය නතර කිරීමට ක්‍රියා කරන ආකාරය දැකිය හැකිය.

විශේෂයෙන්ම සැලකිය යුත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වත්මන් සැසිවාරයේදී යුරෝපීය රටවල් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට අ‍මෙරිකාව විරුද්ධ වී ඇති ආකාරයයි. මෙම යෝජනා මගින් රුසියාව වැරදිකරු ලෙස පෙන්වා දී යුක්‍රේනයට සිදු වී ඇති හානිය ඉස්මතු කිරීමට උත්සාහ කළ ද, අ‍ෙමරිකාව ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

මෙය ඓතිහාසික වෙනසකි. එසේම අ‍ෙමරිකාව දීර්ඝ කාලයක් තිස්සේ විරුද්ධ වූ රටවල් සමඟ, උදාහරණයක් ලෙස උතුරු කොරියාව හෝ රුසියාව වැනි රටවල් සමඟ, යම් යම් සබඳතා ගොඩනඟා ගැනීමට එරටට දැන් සිදු වී තිබේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීමේ සංකල්පය අර්බුදයට ලක් කරන අවස්ථාවක් ලෙස දැකිය හැකිය.

බයිඩන් පරිපාලනයට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ යුක්‍රේන, රුසියා ගැටුම විසඳීමට අපොහොසත් වීමයි. බිලියන ගණනක් වන අමෙරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් යුක්‍රේනයට සහාය දැක්වීම සඳහා යොදවනවා යන්නත්, අ‍ෙමරිකාව තුළ ඇති මුදල් ගැටලු නොවිසඳීම පිළිබඳ චෝදනාවත් මෙහිදී ඉදිරිපත් වී තිබේ.

ට්‍රම්ප්ගේ ප්‍රතිඥාව වූයේ ජනාධිපති ධුරයට පත් වූ විට වහාම මෙම යුද්ධය අවසන් කිරීමට පියවර ගෙන, අමෙරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් රට තුළ රඳවා ගැනීමයි. මෙය ඔහුගේ මැතිවරණ ප්‍රචාරණයේ ප්‍රධාන කරුණකි. එහිදී එම කරුණ සාක්ෂාත් කිරීමට පියවර කිහිපයක් ද හඳුන්වා දෙන ලදි. අ‍ෙමරිකානු ආධාර කප්පාදුව තුළ යුක්‍රේනයට ලබාදෙන අ‍ෙමරිකානු ආධාර සැලකිය යුතු ලෙස අඩු කිරීමට පියවර ගෙන ඇත. මෙය 2023 සහ 2024 වසරවල ලබා දුන් බිලියන ගණනක ආධාරවලින් ඉවත්වීමක් ලෙස දැකිය හැකිය. එලෙසම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම තුළින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යුද්ධය අවසන් කිරීමට උත්සාහ කිරීම අ‍ෙමරිකාව ඇතුළු යුරෝපීය රටවල් ගෙන එන සමහර යෝජනාවලට විරුද්ධත්වය පළකළ අතර, රුසියාව වරදකරු කිරීමට වඩා සාකච්ඡා මගින් විසඳුම් සෙවීමට අවධානය යොමු කරන අයුරු පෙනේ.

තවද ආර්ථික සාධකය තුළ ට්‍රම්ප් පරිපාලනය යුක්‍රේන යුද්ධය අ‍ෙමරිකානු ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව අවධාරණය කරමින්, යුද්ධය අවසන් කිරීම අ‍ෙමරිකානු ජනතාවගේ ආර්ථික යහපත සඳහා අවශ්‍ය බවටද තර්කයක් ගෙන හැර පායි. අවසාන වශයෙන් ජාත්‍යන්තර ආරක්ෂක ව්‍යූහයේ වෙනස්වීම එනම් අ‍ෙමරිකාවේ ආරක්ෂක වියදම් අඩු කිරීම සඳහා යුරෝපීය රටවල ආරක්ෂක වියදම් වැඩි කිරීමට බල කිරීම ආදී පියවර කිහිපයක් හඳුන්වා දෙන ලදි.

මේ ආකාරයෙන් යුද්ධය නතර කර ගැනීම යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නකි. නමුත් එය තිරසර විය යුතුය. එහිදී යුද්ධය නිසා යුක්‍රේනයේ මෙන්ම රුසියාවේ ද ජීවිත හානි දහස් ගණනකින් සිදුව ඇත. එලෙසම දස ලක්ෂ ගණනක සිවිල් වැසියන් සරණාගතයින් බවට පත්ව යටිතල පහසුකම් විනාශ වී ඇත. නිවාස අහිමිවීම, රෝහල් හා පාසල් ද විනාශ වී ඇත. එපමණක් නොව, ලෝක ආහාර සහ බලශක්ති මිල ගණන්වලට අහිතකර බලපෑම්, යුද්ධය සඳහා වැය කරන දැවැන්ත මුදල් ප්‍රමාණය යටිතල පහසුකම්, සෞඛ්‍ය, අධ්‍යාපනය සඳහා යොදවා ගත හැකිවීම ආදි කරුණු සැලකිල්ලට ගත යුතුය.

එලෙසම යුද්ධය ඇතිවීම ලෝක ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බව අ‍ෙමරිකාව පවසා සිටී. එය අවසන් කිරීම සඳහා ගන්නා උත්සාහයන් එම හේතුව මත යුක්තිසහගත කිරීමට ද උත්සාහ කරයි. ප්‍රංශය ඇතුළු සමහර මිතුරු රටවල් මෙම ප්‍රවේශයට එකඟ නොවන අතර, යුද්ධය සඳහා වැය වන මුදල් ඉතා අධික බව පෙන්වා දෙයි. එහිදී ට්‍රම්ප් යුද්ධය නැවැත්වීම සඳහා පියවර ගන්නා බව මෙන්ම ඒ සඳහා අමෙරිකාව වැඩි අවධානයක් රටේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි යොමු කරමින්, ලෝක කටයුතුවලින් යම් දුරකට ඉවත් වන ස්වභාවයක් පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, යුද්ධය අවසන් කිරීම සාධාරණීකරණය කරන්නේ රටවල් අතර සබඳතා ගොඩනඟා ගැනීමේ සරල අවශ්‍යතාවය මතයි. යුද්ධය නතර කිරීම යහපත් තීරණයක් ලෙස සලකන අතර, ඕනෑම යුද්ධයක් ජීවිත හා දේපළ හානි ඇති කරන අතර, විශේෂයෙන්ම යුක්‍රේන ජනතාව බරපතළ ලෙස පීඩාවට පත්ව සිටී.

යුද්ධය අවසන් කිරීමේ ප්‍රයත්නයන් මධ්‍යයේ, අමෙරිකාව සහ යුරෝපය අතර යම් මතභේදාත්මක ස්වභාවයක් දිගටම පවතින බව පෙනේ. එහිදී ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටකට මෙය බලපාන ආකාරය ක්ෂේත්‍ර කිහිපයකින්ම දැක ගත හැකිය. ආනයන පිරිවැය අඩුවීම, ණය ගැනීමේ පිරිවැය අඩුවීම, ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවීම (තේ, රබර්, ඇඟලුම්) , ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ වෙත වඩා පහසු ප්‍රවේශය, IMF වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සබඳතා වැඩිදියුණු වීම ආදී කරුණු කාරණා සඳහා වැදගත් වේ. සමස්තයක් ලෙස, ලෝක සාමය සහ ස්ථාවරභාවය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටකට ඍජුව හා වක්‍රව යහපත් ප්‍රතිඵල ගෙන දිය හැකිය. විශේෂයෙන් මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර ස්ථාවරත්වය දීර්ඝකාලීන සංවර්ධනය සඳහා ඉතා වැදගත් වේ.

සමාජයීය බලපෑම් ලෙස ගෝලීය ආර්ථික වර්ධනය මගින් රැකියා අවස්ථා වැඩිවීම හා විදේශ රැකියා සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවීම,විදේශ සේවා නියුක්තිකයින්ගේ ආදායම් වැඩිවීම, අධ්‍යාපන අවස්ථා වැඩිවීම, විශේෂයෙන් ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා, සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගය වැඩිවීම ආදී කරුණු කාරණා සඳහා වැදගත් වේ. එමගින් මෙම ප්‍රවර්ධන කටයුතු නිසා වඩාත් හරයාත්මක සහ හොඳ වටපිටාවක් නිර්මාණය කරනු ලබයි.

එතුළ දේශපාලනික බලපෑම් ලෙස ශ්‍රී ලංකාවට අ‍ෙමරිකාව හා රුසියාව යන රටවල් දෙකම සමඟ සබඳතා වඩාත් සමබරව පවත්වාගෙන යෑමට ඇති හැකියාව, ශ්‍රී ලංකාවේ භූ-දේශපාලනික පිහිටීම නිසා, බටහිර සහ නැඟෙනහිර බලවතුන් අතර සබඳතා වැඩි දියුණු වීම මගින් රටට ඇතිවන වාසි, කලාපීය සහයෝගිතාව වැඩිදියුණු වීම, බහුපාර්ශ්වික ජාත්‍යන්තර සංවිධානවල ශ්‍රී ලංකාවේ ස්ථානය ශක්තිමත් වීම වැදගත් වේ.

එතුළම පාරිසරික බලපෑම් ලෙස ගෝලීය පාරිසරික ප්‍රතිපත්ති ශක්තිමත් වීම, පරිසර සංරක්ෂණය සඳහා වැඩි ආධාර හා තාක්ෂණික සහයෝගය ලැබීම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර සහයෝගය වැඩිවීම, හරිත ආර්ථික ප්‍රවර්ධනය සඳහා ආයෝජන වැඩිවීම විශේෂයෙන්ම හඳුනා ගත හැකිය. එය අප රට වැනි රටකට සුවිශේෂ තත්ත්වයක් ලෙස සඳහන් කළ හැකිය. ඒ ආකාරයෙන් කටයුතු කළහොත් ශ්‍රී ලංකාවේ තත්ත්වය වඩාත් ඉහළට නංවා ගැනීමට හැකියාව ලැබේ. කලක සිට ආර්ථික අර්බුදයක ගිලී සිට නැවත හිස ඔසවන ශ්‍රී ලංකාව වැනි රටකට වඩාත් සමබර සහ සියලු පාර්ශ්ව සමඟ සමාන ගනුදෙනු සහිත ප්‍රතිපත්තියකට එළඹීමට හැකියාව ලැබීම තුළින් අප රටට වඩාත් වාසිදායක වටපිටාවක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබේ. අමෙරිකාව සමඟ පමණක් නොව රුසියාව වැනි රටක් සමඟ ද සමබර, සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වඩාත් කාලෝචිත ප්‍රවේශයක් ලෙස සඳහන් කළ හැකිය. සමස්තයක් ලෙස ලෝක සාමය සඳහා යම් ප්‍රවේශයක් ලබා ගැනීමට ද මේ අනුව විශාල ඉඩක් විවරව තිබේ. එවැනි ලෝක සාමයක් තුළින් අප රට ද ඇතුළත් සංවර්ධනය වන රටවලට මනා පිටිවහලක් සපයා ගැනීමට හැකියාව තිබේ.

නිසංසලා කොට්ටගස්වත්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT