‘බිමට වඩින් බිමට වඩින්
ස්වර්ණමාලි කුමාරියේ
ඔන්න ගොරබිරම් රකුසෝ
අමුකැලෑ බිඳන් එනවෝ…’
අජන්තා රණසිංහයන්ගේ පද රචනයට ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය මුසු වී, අයිවෝ ඩෙනිස් සූරීන් විසින් ගායනා කරන ලද ඉහත ගීය දේශපාලන බලපුළුවන්කාරකම මත සිදු කරන වන විනාශය හෙවත් වන සංහාරය නමැති සමාජ අසාධාරණය තේමා කොට ගෙන බිහි වූ නිර්මාණයකි.
සාම්ප්‍රදායික ජන සමාජයේ පරිසරය – නැත්නම් ගහකොළ, වනාන්තර – පිළිබඳ ඉතා භක්තිමත් හැඟීමක් පැවතිණි. ඔවුහු වනාන්තරවල දෙවියන් සිටින බව විශ්වාස කළහ; ඒ නිසා ඒවා වෘක්ෂ දේවතාවන් ලෙස නම් කළහ. ගීතයෙන් සිදු කෙරුණේ දේශපාලනික බලපුළුවන්කාරකම මත දිගින් දිගට ම සිදු වන මහා වන විනාශය දැක, ඉන්නා තැනකින් බිමට බසින ලෙස ස්වර්ණමාලි කුමාරියට කරන ලද ආයාචනයකි. ස්වර්ණමාලි කුමාරියට වෙසෙන්නට වෘක්ෂයක් ඉතිරි නොවන බව ගීතයේ යටිපෙළ අර්ථයෙන් කියවෙයි.
පසුගිය දින කිහිපය පුරා අසන්න ලැබුණු ශ්‍රී ලංකාවේ කැලෑ ගිනි තැබීම් සහ වනාන්තර ගිනි ගැනීම් පිළිබඳ සිදුවීම් සමඟ ඉහත සිද්ධිය සමපාත වූ බවක් අපට හැඟේ. අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරන පරිදි මේ ගිනි ගැනීම්වලින් බහුතරය මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වූ ඒවා ය. එනම්: හිතා මතා වනාන්තර ගිනි තැබීම්ය.
යම් රක්ෂිත ප්‍රදේශයක් තුළ ගිනි දැල්වීම හෝ ගිනි පැතිරවීමට ක්‍රියා කිරීම 2009 අංක 65 දරන කැලෑ සංශෝධන පනත අනුව වරදකරුවකු වන ක්‍රියාකාරකමකි. එවැනි වරදකට ලක් වන්නකුට වසර හතකට නොවැඩි කාලයකින් යුත් සිරදඬුවමක්, ලක්‍ෂ දෙකකට නොවැඩි දඩයක් හෝ මේ දඬුවම් දෙක ම හෝ නියම කිරීමේ නීතිමය ප්‍රතිපාදන සලසා තිබේ.
හේන් ගොවිතැන, සතුන් දඩයම් කිරීම සහ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා මිනිසුන් මෙවැනි කටයුතුවල හිතාමතා නිරත වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කොට තිබිණි. එමෙන්ම වියළි කාලගුණික තත්ත්වයක් යටතේ නිරායාසයෙන් ම කැලෑ ගිනි ගැනීම් ඇති විය හැකි වුවද, මෙරට කැලෑ ගිනි ගැනීම් වැඩිහරියක් සිදුව තිබුණේ මිනිසුන්ගේ අපරීක්ෂාකාරි ක්‍රියාකාරකම් නිසා ය. මේ අතර එවන් කැලෑ ගිනි තැබීම් පිටුපස විවිධ දේශපාලන අවශ්‍යතා ඇති බව පසුගියදා අනාවරණය විය. මේ අතර, මෙවන් ගිනි ගැනීම් පිළිබඳ දැනුම් දීම සඳහා ම 117 දුරකතන අංකය විවෘත බව අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කළේය. කෙසේ නමුත්, කවර තත්ත්වයක් යටතේ වුව, මෙකී වනාන්තර ගිනි ගැනීම් සහ ගිනි තැබීම් පාලනය කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේද සැකසීම අත්‍යවශ්‍ය කාරණයකි. එසේ නොවුණ හොත් ඒ මත පදනම්ව තවත් අතුරු ආපදා ගැටලු රැසක් ඇති වීම කිසිවකුට වැළැක්විය නොහැකි වනු ඇත.
සාමාන්‍යයෙන් බොහෝවිට ගිනි ගන්නේ වියළි පාරිසරික තත්ත්වයේ පවතින වනාන්තර ය. එහෙත් දැඩි වියළි කාලගුණික තත්ත්වයක් යටතේ අමු කැලෑ වුව ගිනි ගත හැකි ය. එනම් ගිනි නොගන්නා දේ ද ගිනිගැනීමට ලක් විය හැකිය. ඉහත සිද්ධිය මෑතකාලීන දේශපාලනික කරුණු සමඟ සමපාත කර බැලූ විට පටු අවස්ථාවාදි දේශපාලක පිරිස් විසින් අමු කැලෑ ගිනි තැබීමට උත්සාහ දරන බවක්ද හැඟී යයි. එනම්; ගින්නකට අවශ්‍ය සාධක නැති වටපිටාවක වුව ද අමු වනාන්තර ගිනි තැබීමට ගන්නා උත්සාහයක් ලෙස එය හැඳින්විය හැකිය.
මෙය දේශපාලන බිල්ලන් මැවීමක් ලෙස ද අර්ථ ගැන්විය හැකිය. සහල් හිඟයක් මවා පෑම, පොල් ප්‍රශ්නයක් ඇතිවීම, ලුණු හිඟයක් නිර්මාණය වීම, භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම, ජාතික ආර්ථිකය බිඳවැටීම, ජාතික ආරක්ෂාව අනතුරේ ය කියා ප්‍රචාරය කිරීම, ප්‍රතිවිරුද්ධවාදීන් දේශපාලනිකව දඩයම් කිරීම… යනාදි වශයෙන් වූ දේශපාලන බිල්ලන් මවා ජන සමාජය තුළ අමු කැලෑ ගිනි තැබීමට ගත් උත්සාහයක් පසුගියදා දක්නට ලැබිණි. බොහෝ දේශපාලනඥයන් මෙන්ම බොහෝ ජනමාධ්‍ය ද ඒ සඳහා නිරන්තර සහාය දක්වන බවක් ද දක්නට ලැබිණි.
ඉංජිනේරු තාක්ෂණ විද්‍යාවේ ‘ගිනි ත්‍රිකෝණය’ යනුවෙන් යෙදුමක් පවතී. එහි සඳහන් වන්නේ ගින්නක් ඇති වීම සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක තුනකි. එහි පළමුවැන්න; දහනශීලි ද්‍රව්‍ය නැත්නම් ගිනි ගන්නාසුලු ද්‍රව්‍ය පැවතීමයි. දෙවැන්න; ප්‍රමාණවත් තරම් ඔක්සිජන් වාතය පැවතීමයි. තුන්වැන්න; තාපය පැවතීමයි. මේ කරුණු තුන සම්පූර්ණ වුව හොත් පමණක් ගින්නක් ඇති විය හැකි ය. එය දීර්ඝකාලීනව පවතින්නේ ද කොතරම් දුරට ව්‍යාප්ත වන්නේ ද යන කාරණය තීරණය වන්නේ ඉහත සාධක තුන සහ තවත් බාහිර සාධක මත ය. එසේ නම්; දේශපාලනික අමු කැලෑ ගිනි තැබීමට උත්සාහ දරන්නන් හට කිව යුත්තේ දේශපාලනික ගින්නක් ඇති වීමට තරම් සාධක තවමත් සම්පූර්ණ වී නැති බව ය. එනිසා රූපවාහිනී කැමරා හෝ සමාජ මාධ්‍ය ඉදිරියේ තනි තනි සිද්ධි වෙන් වශයෙන් ගෙන, අමුකැලෑ ගිනි තැබීමට තැත් දැරීමෙන් පලක් නැත.
යථෝක්ත කාරණාවලට නිශ්චිත පිළිතුරක්, මේ සටහනට තේමා කර ගත් ගීයේ අවසාන පද පෙළෙහි ද සඳහන් වෙයි;
‘අගිල් කපුරු සුවඳ තෙලින් අප පැදකුණු කළ වැසියෝ
නිරුදක කතරක් හෙට මෙහි මවනා දුර්ගුණ ගැතියෝ
පොරෝ කියත් අවි බලයට සිරස නමන වනදෙවියෝ
අපට පිහිට වනු කෙලෙසද ඒ තෙද බල අද නැතියෝ….’
එහෙයින් සමාජ දේශපාලනික ගැටලු විසඳීමට දිව්‍ය විමානවලින් බසින දෙවිවරු, කුමාරවරු, කුමාරිකාවෝ තවදුරටත් සිටිය නොහැකි ය. මන්ද යත්; අපට ඇත්තේ නොපෙනෙන බලවේගවලට පවා පිහිට විය නොහැකි මට්ටමට ඔඩුදුවා ඇති සමාජ දේශපාලනික අර්බුද ජාලාවක් වන බැවිනි.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ එකී අර්බුද විසඳා ගත යුතුව ඇත්තේ ද මිනිස් ක්‍රියාකාරකම් මාර්ගයෙන් ම ය. එය එක් රැයකින් හෝ දෙකකින් සිදු කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා වන සාමූහික කැප වීම සහ වග වීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් ව ඇත්තේ ය.