Home » රනිල්ගේ සමයේ කොමිෂන් සභා 14කට ලක්ෂ 5301ක්

රනිල්ගේ සමයේ කොමිෂන් සභා 14කට ලක්ෂ 5301ක්

ඥානක්කාගේ දේවාලය හදාගන්නත් ලක්ෂ 280ක් ගෙවලා

by mahesh
February 28, 2025 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවිධ විෂයයන් වෙනුවෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා 14ක් වෙනුවෙන් ලක්ෂ 5301ක මුදලක් වැයකර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.

එම කොමිෂන් සභාවලින් සක්‍රිය ලෙස කටයුතු කර ඇත්තේ 2022 වසරේ සිට රට තුළ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීම වෙනුවෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව බවත් එහි කටයුතු කඩිනමින් අවසන් කර වන්දි ලබාදීමේ කටයුතු වේගවත්ව සිදුකර ඇති බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එමෙන්ම ගතවූ 2024දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නියෝජ්‍ය සංවිධායකවරුන් දෙදෙනා, සහකාර සංවිධායකවරුන් තිදෙනා ඇතුළු කණ්ඩායම වෙනුවෙන් ලක්ෂ 3771ක මුදලක් වැයකර ඇති බවත් හෙතෙම පැවසීය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය-වැය තෙවනවර කියැවීමේ විවාදයට සහභාගි වෙමිනි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

හිටපු රනිල් වික්‍රමසිංහ මහතා මොනව හරි ප්‍රශ්නයක් වුණාම ජනාධිපති විමර්ශන කොමිෂන් පත් කරනවා. ඒ කොමිෂන්වලට වුණ දෙයක් නැහැ. 2016 සිට එවැනි කොමිෂන් 14ක් පත්කර තිබෙනවා.

රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව වෙනුවෙන් ලක්ෂ 662ක් වැයකර තිබෙනවා. ඒකත් ඉවරයි. ඒකත් අවභාවිත කරලා.

අතුරුදන් වූවන් වෙනුවෙන් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව වෙනුවෙන් ලක්ෂ 144ක් වැය කරලා. ඒකත් අතුරුදන්. වාර්තා මොකුත් නැහැ. පාස්කු සිදුවීම විමර්ශනය සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂම වෙනුවෙන් ලක්ෂ 1063. දූෂණ විමර්ශන වෙනුවෙන් සොයන්න පත් කළ කමිටුවත් ඒ වගේමයි. 2016, 2017, 2018, 2019 දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ කොමිෂමට ලක්ෂ 842ක්.

රේගුවට එල්ල වූ චෝදනා විමර්ශනය සඳහා පත්කළ කොමිෂමට ලක්ෂ 344ක්. සමස්තයක් ලෙස ජනාධිපති කොමිෂන් සභා 14 වෙනුවෙන් ලක්ෂ 5301ක් වියදම් කර තිබෙනවා. මේ 14න් අපරාදේ කියන්න බැහැ වේගවත් වුණේ 2022 සිට ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා වන පියවර තීරණය කිරීම වෙනුවෙන් පත් කරන ලද කොමිෂන් සභාව. අර වන්දි ගෙවපු එක. වන්දි ගෙවපු කොමිෂන් සභාව විතරයි, වේගයෙන් වැඩකරලා තිබෙන්නේ.

2022 අරගලයේදී වන්දි වශයෙන් මන්ත්‍රීවරුන්ට හා ඇමැතිවරුන්ට වන්දි ලෙස රුපියල් මිලියන 1221ක් දීලා තිබෙනවා. පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසකට රුපියල් මිලියන 1125ක් දීලා තිබෙනවා. පළාත් පාලන නියෝජිතයන්ට විතරක් නොවෙයි ගුරුකම් කරන්නියක් වන ඥාණක්කාට අනුරාධපුරයේ ඇගේ දේවාලයටත් රුපියල් ලක්ෂ 280 ක් රජයෙන් වන්දි ලබාදීලා තිබෙනවා.යැයි කීවේය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT