ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහදූව අම්බන, ගල්ලමුල්ල කන්ද ජනතාව සිය ගම්බිම්වලට යාමට ඒමට පාලමක් නොමැතිව කිතුල් කොටයක ආධාරයෙන් ගඟ හරහා ඉතාම අවදානම් ගමනක යෙදෙන බව ගම්වාසීහු පවසති. ගල්ලමුල්ල කන්ද ජනතාව තම දරුවන් පාසලට යැවීමටත්, සිය කෘෂිකාර්මික අස්වැන්න එහාමෙහා ගෙන යාමටත්, සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනයටත් භාවිත කරන මෙම ඒදණ්ඩ ඉතාම අවදානම් වුවත්, එසේ නොමැතිව ගමින් ගමට යාමට ඒමට සැතපුම් හයක් පමණ යා යුතුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මෙම ගඟ හරහා පාලමක් ඉදිකිරීමට රජය මඟින් මුදල් වෙන්කර මුල්ගල් තබා විශාල උත්සවයක් කර සිහිවටන පුවරු සවි කළ ද, ටික දිනක් ගත වන විට ජනතාවගේ පාලම් සිහිනය මුළුමනින්ම බොඳ කරමින් අද ඉතිරිව ඇත්තේ පාලම ඉදිකිරීම සඳහා දෙපස ඉදිකළ බැමි කෑලි දෙකක් පමණි. කෙසේවෙතත් පාලම වෙනුවට ගමේ මිනිසුන් එක්ව කිතුල් කොට ඒදණ්ඩක් තනා එහා මෙහා යන අතර පාසල් සිසුන් කිහිපවතාවක්ම මෙම ඒදණ්ඩ මතින් ඇදවැටී තුවාල ලැබූ බව ද ගම්වාසීහු කියති. එබැවින් මෙම පාලම ඉදිකර දෙන්නැයි ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් එම ගම්වාසීහු මෙලෙස අදහස් දැක්වූහ.
කාන්ති බණ්ඩාරිගොඩ මහත්මිය (52)
“අපේ ගමට යන්න එන්න මේ පාලම හදල දෙනව නම් ලොකු පිනක්. ගංවතුර ගැලුවම අපේ ගම්වලට යන්න එන්න විදිහක් නෑ. පාසල් සිසුන්ට වැසි දිනවල දී එහා මෙහා යන්න බැහැ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියන්නෙ මේ පාලම අපිට හදල දෙන්න.”
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.ඒ. ආරියසිරි මහතා –
“මේ පාලම හදන්න මීට වසර කිහිපයකට උඩදී පසුගිය ආණ්ඩුව කාලෙ ලොකු උත්සවයක් කරල මුල්ගල තියල වැඩ පටන්ගත්තා. ගමේ අපි හිතුවා ඉක්මනට අපේ ගමට පාලමක් හැදේවි කියලා. පාලමේ වැඩ අතරමඟ නතර වෙලා. අද වන විට මුල්ගලවත් සොයාගන්න නැහැ. අපට දැන් අපේ ඉඩම්වලට යන්න එන්න, ගමේ දරුවන්ට ඉස්කෝලෙට යන්න පාලමක් නැතුව දුක් විඳිනවා. මෙතන තිබෙන මේ ඒදණ්ඩ කිසිම ආරක්ෂාවක් නැහැ. මේ ඒදණ්ඩෙන් එහෙම මෙගොඩ ගිය පාසල් දරුවන් කිහිපවිටක්ම වතුර පිරුණු වෙල්වල වැටිලා අමාරුවෙන් ගොඩ ගත්තෙ.”
බිනර සත්සර (13)
“අපට ඉස්කෝලෙ යන්න මේ පාර විතරයි තියෙන්නෙ. මේ පාලමෙන් එගොඩ මෙගොඩ වෙන්නෙ හරිම බයකින්. පායන දවස්වලට මෙතනින් බැහැල යන්නත් පුළුවන්. ඒත් සාමාන්‍ය දවස්වල මේ ගඟ පිටාර ගලනවා. එක දවසක් මගේ කකුල ලිස්සල ගිහින් ගඟට වැටුණ වෙලාවට මාත් එක්ක ආපු මාමා කෙනෙක් මාව කකුලෙන් ඇදල ගොඩට ගත්ත. අනේ අපට මේ පාලම හදල දෙන්න.”
ඇල්පිටිය විශේෂ – ඩී.ජේ. විජේසිංහ