අනුරාධපුර රාජධානි සමයේ මල්වතු ඔය සහ එහිම අතු ඇළක් වන හාල්පානු ඇළ ආශ්‍රිතව ඉදිකොට ඇති ගල් පාලම් මේ වන විට මුළුමනින්ම විනාශ වීමේ අවධානමට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ඉපැරණි ගල් පාලම් වෙත ළඟාවීමට රුවන්වැලි මහා සෑයට අභිමුඛව උතුරු දෙසින් පිහිටි සංඝමිත්තා මාවත ඔස්සේ ගමන් කළ යුතුය. වත්මනෙහි කාපට් අතුරා පිළිසකර කොට ඇති එම මාර්ගය ඔස්සේ කිලෝ මීටර් තුනහමාරක් පමණ ගමන් කළ පසුව මුණගැසෙන පෙරිමියන්කුලම ගම්මානය ආසන්නයේ මෙම ගල් පාලම් දැකගත හැකිව තිබේ.
අතීතයේ දී සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධි ශාඛාව භාරතයෙන් රැගෙන දඹකොළපටුනෙන් මෙරටට ගොඩ බැස මහත් හරසර සහිතව අනුරාධපුර නගරය දක්වා වඩම්වාගෙන එන ලද්දේ ද මෙම පුරාණ මාර්ගය ඔස්සේ බව සඳහන්වේ. ඒ කිස්තු පූර්ව 250 – 210 කාලයේ දෙවනපෑතිස් රජ සමයේදීය. කුට්ටම්පොකුණ, ඓතිහාසික සමාධි බුද්ධ ප්‍රතිමාව ආදි පුරාවිද්‍යා ස්මාරක මුණගැසෙනුයේ ද මෙම මාර්ගයේ ගමන් කරන අතරතුරදීය. අනතුරුව පෙරිමියන්කුලම ගම්මානයටත් ඊට යාබද වෙල් යායට දියවර ගෙන ගලන හාල්පානු ඇළත් දිස්වේ. වෙල් යායත්, ගම්මානයත් එකිනෙක යා කරවමින් ඇළ හාරහා ඉදිකොට ඇති “හාල්පානු ඇළ ගල්පාලම” ඉනික්බිතිව දැකගත හැකිව තිබේ.
තවත් මීටර් පන්සීයක් පමණ ඔබ්බෙන් ගලායන මල්වතු ඔය යාකොට “මල්වතු ඔය ගල් පාලම” ඉදිකොට තිබේ.
මෙම ගල්පාලම් දෙකෙහිම දැවැන්ත ගල් පුවරු සහ කුලුනු සමහරක් තැන තැන ඇදවැටී තිබේ. ඉන් සමහරක් පස් යට සැඟව ගොස් ඇත. මල්වතු ඔය ගල්පාලමේ ගල් පුවරු සමහරක් ඔය පතුලේ ගිලී තිබේ. හාල්පානු ඇළ ගල්පාලම මුළුමනින්ම කැලයෙන් යටවෙමින් ඇත. පෙරිමියන්කුලම ගම්වාසීහු මේ වටිනා උරුමයන් දැකීමට එන සංචාරකයින්ට එළවළු, පලතුරු, රසකැවිලි ආදිය විකුණා යම් ආදායමක් උපයා ගැනීමට වෙහෙස වෙති. මෙම පාලම් කෙරෙහි ඇති වගකිව යුතු අවධානය අවම වීම හේතුවෙන් මේ සඳහා ඇති සංචාරක ආකර්ෂණය ද පහළ වැටී ඇති බව මෙම ගැමියෝ පවසති. ඒ පිළිබඳව පෙරිමියන්කුලම ගම්වාසී “එන්.එම්. පාලිත” මහතා පැවසුවේ මෙවැනි අදහසකි.
“මේ හැම දෙයක්ම අතඇරලා දාපු දරුවෝ ගාණට වැටිලා තියෙන්නේ. කිසිම සොයා බැලීමක් නෑ. ගල් කණු වැටිච්ච වැටිච්ච තැන්වල. සමහර ගල්කණු ඔයේ වැල්ලට යටවෙලා. මේ පාරෙන් ශ්‍රී මහා බෝධිය වැඩම කෙරෙව්වා කියලනේ කියන්නේ. මේවා පුදුම ඓතිහාසික තැන්. ඔය හාල්පානු ඇළ කියන්නේ මේ පූජා නගරේ හිටපු දහස් ගාණක් හාමුදුරුවරුන්ට දානේ පිළියෙල කරන්න හාල් ගරලා අහක දාපු වතුර ගලාගෙන ආපු ඇළට. ඒක තමයි කටින් කට එන කතාව. එහෙම බලනකොට මේ ඇළ, මේ ගම, වෙල්යාය මීට අවුරුදු දාස් ගාණකට කලිනුත් තිබිලා තියෙනවා. ඒකට හොඳම සාක්ෂිය තමයි මේ ගල්පාලම. වල්වැදිලා තිබිච්ච මහා චෛත්‍ය අලුත්වැඩියා කෙරුව නම් මේ පාලම් පිළිවෙළක් කරන්ඩ බැරිවෙන්ඩ හේතුවක් නෑනේ.”
මල්වතු ඔය ගල් පාලම අඩි අනූවක් පමණ දිගකින් යුතු වන්නට ඇති බවත් පළල අඩි 15ක් පමණ වන්නට ඇතැයි ද අනුමාන කෙරේ. හාල්පාණු ඇළ ගල් පාලම ඊට සාපේක්ෂව කුඩා එකකි. මීට වසර දහයකට පමණ ඉහතදී මල්වතු ඔයට අඩක් පෙරලී ඇති මල්වතු ඔය ගල් පාලම යතාවත් කිරීමට යම් උත්සාහයක් දරා ඇතත් කිසිදු සාධනීය ප්‍රතිඵලයකින් තොරවම එයද අතරමඟ නැවතී තිබේ. හාල්පානු ඇළ ගල්පාලම සම්බන්ධයෙන් එවැනි උත්සාහයක් හෝ දැරුව බවට තොරතුරක් නැත. පෙරිමියන්කුලම, ගල්පාලම ප්‍රදේශයේ දිවි ගෙවන “තාමත් විදේශිකයෝ පවා මෙතැන බලන්න එනවා. ඒ අයටත් පුදුමයි මීට අවුරුදු දහස් ගාණකට කලින් මෙහෙම දෙයක් කෙරුවේ කොහොමද කියලා. ඇත්තටම අද මෙතැනට වෙලා තියෙන දේ දැක්කහම ලොකු කනගාටුවක් ඇතිවෙනවා. හාල්පාණු ඇළේ පාලම සම්පූර්ණයෙන්ම කැලෙන් යටවෙලා තියෙන්නේ. ගමේ අය විදිහට අපිට බෑනේ මේ තැන් සුද්ද කරන්න. ඒවට වග කියන අය තමයි මේ ගැන බලන්න ඕන. මේ වගේ තැන් පිළිවෙළක් කෙරුවොත් ඒක සංචාරක කර්මාන්තෙටත් හොඳයි. අඩුම තරමින් මල්වතු ඔය ගල් පාලමට එන්ඩ තියෙන පාරට බොරලු ටිකක් දාන්ඩ කියලා මං ඉල්ලන්නේ.” “එන්. ඉසුරු පැවසුයේ මෙවැනි කරුණකි.
මෙම ගල් පාලම් මඟින් මෙරට ඉපැරණි ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව මෙන්ම අනුරාධපුරයේ පොහොසත් ඉතිහාසය සහ උරුමය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ඉඩ අවකාශ සලසයි. එය අනාගතය උදෙසා සංරක්ෂණය කරන ලෙස ප්‍රදේශවාසීහු වගකිව යුත්තන් වෙතින් ඉල්ලීමක් කරති. අප මෙම ගල් පාලම් අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ඇති බාධාවන් කවරේද යන්න පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ “ආර්.බී. ජයතිලක” මහතා වෙතින් විමසීමක් කළෙමු.
එවිට ඒ මහතා පැවසුවේ විශාල මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවිය හැකි බවට ඇස්තමේන්තු කර ඇති බැවින් ගල් පාලම් පිළිසකර කිරීම දුෂ්කර වී ඇති බවයි. මීට වසර කිහිපයකට මත්තෙන් මල්වතු ඔය ගල් පාලම පිළිසකර කිරීමේ කටයුතු අතරමඟ අතෑර දැමීමට සිදුව ඇත්තේ ද මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බවද හෙතෙම පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මෙවැනි පුරාවිද්‍යා ස්මාරක දහසක් පමණ ඇති බවත් ප්‍රමුඛතාවය අනුව පිළිසකර කිරීමේ කටයුතු සිදුකෙරෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. කෙසේ වුවද ගල් පාලම් නැවත යතාවත් කිරීම අතහැර නොමැති බව ද එය විශාල තාක්ෂණික ප්‍රයත්නයක් බව ද සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්