Monday, April 21, 2025
Home » ශිෂ්‍ය භික්ෂූන් සහ සිසුන් ලියූ E-book 747ක් මහනුවර මහාමායාවේදී අන්තර්ජාලයට මුදා හැරුණු වගයි

ශිෂ්‍ය භික්ෂූන් සහ සිසුන් ලියූ E-book 747ක් මහනුවර මහාමායාවේදී අන්තර්ජාලයට මුදා හැරුණු වගයි

by sachintha
February 27, 2025 2:20 am 0 comment

මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක නියං­ගොඩ ශ්‍රී විජි­ත­සිරි නාහි­මි­යන් විද්‍යුත් ග්‍රන්ථ අන්ත­ර්ජා­ල­යට මුදා­හැරි අයුරු.

පොතපත හා පවතින ඇසුර ජංගම දුරකතනය සමඟ පවත්වන වත්මන් ළමා පරපුර යළි කියවීමට හා ලිවීමට යොමු කිරීමේ අරමුණින් සෙනෙවිරත්න මහලේකම් ගුරු පියාණන් විසින් මෙයට දශකයකට පෙර හඳුන්වා දුන් වැඩසටහන අනුව යමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ සිසු දරුවන් රචනා කරන ලද විද්‍යුත් ග්‍රන්ථ 747ක් අන්තර්ජාලයට මුදාහැරීම පසුගියදා මහනුවර මහාමායා බාලිකා විදුහලේ දී සිදු කෙරිණි.

මහනුවර මහාමායා විදුහල මූලික කර ගනිමින් මේ ග්‍රන්ථ රචනා කිරීමේ වැඩසටහන මෙවර සිදු කෙරුණු අතර එහිදී විදුහලේ පළමු ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුවියන් විද්‍යුත් පොත් 630ක් අන්තර්ජාලයට මුදා හරිනු ලැබූහ. මේ ඔස්සේ විදුහලේ සිසුවියන් 539ක් කතුවරියෝ බවට පත්වූහ. විදුහලේ ආචාර්ය මණ්ඩලය නියෝජනය කරන 13 දෙනෙකු ද ග්‍රන්ථකරණයට පිවිසීම ඔස්සේ මෙහිදී කතුවරුන් බවට පත්වීම විශේෂත්වයකි.

හෙරණගත්කරණි ලෙස නම්කර තිබූ මෙම විද්‍යුත් පොත් අන්තර්ජාලයට එක් කිරීමේ අවස්ථාවට වෙනත් පාසල් නියෝජනය කරමින් පොත් රචනා කළ 94 දෙනෙකු සහභාගි වී සිටියහ. ඒ අතර පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ද සිටි අතර උන්වහන්සේ බෞද්ධ දර්ශනය හා බැඳුණු පොත් පාලි හා සංස්කෘත භාෂාවන්ගෙන් රචනා කර තිබිණි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජපන්, කොරියන්, චීන, පාලි, සංස්කෘත ඇතුළු භාෂා ගණනාවකින් භික්ෂූන් වහන්සේ ඇතුළු සිසු දරුවන් ග්‍රන්ථ රචනා කර තිබුණු බවත් ඔවුන් අතර විදේශීය දරුවන් ද සිටීම විශේෂත්වයක් බවත් සෙනෙවිරත්න මහලේකම් මහතා කීය.

මේ වන විට සෙනෙවිරත්න මහලේකම් ගුරුතුමා විසින් දරුවන් 30000ක පමණ පිරිසක් කතුවරුන් බවට පත් කර තිබෙන අතර ඔවුන් ලියා පළකර තිබෙන හා අන්තර්ජාලයට මුදාහැර තිබෙන ග්‍රන්ථ සංඛ්‍යාව 40000ක් පමණ වේ.

විද්‍යුත් ග්‍රන්ථ අන්තර්ජාලයට මුදාහැරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අභයකෝන් මහතා පැවසුවේ ඉදිරියේදී රට භාර ගැනීමට සිටින දූ දරුවන්ට පැවරෙන ප්‍රධාන වගකීමක් වන්නේ පවතින සමාජ වෙනස්කම් තුරන් කිරීම බවත් ජාති, ආගම්, සමාජ තත්ත්ව, භුගෝලීය වෙනස්කම්වලින් තොරව ශ්‍රී ලංකික ජනතාවක් බිහි කිරීමට දරුවන් උනන්දු විය යුතු බවත්ය. එක් ජාතියක් ලෙස ලෝකය ඉදිරියට යෑම සඳහා අවශ්‍ය පණිවිඩය ග්‍රන්ථකරණය ඔස්සේ විශාල පිරිසක් වෙත ගෙන යෑමට දරුවන්ට අවස්ථාව ලැබෙන බවත් ඒ සඳහා සුදුසු මාතෘකා තෝරා ගැනීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් ඒ මහතා කීය.

මෙහි දී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් විසින් අනුශාසනාවක් කළ අතර උත්සවයේ විශේෂ දේශනය පවත්වනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා විසිනි.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ශසිකලා සේනාධීර, වෛද්‍ය නුවන් තොටවත්ත යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT