Monday, April 21, 2025
Home » ඉන්ධන පිරවුම්හල් හිමියන් 3% ඉල්ලා සිටීම අසාධාරණයි

ඉන්ධන පිරවුම්හල් හිමියන් 3% ඉල්ලා සිටීම අසාධාරණයි

-ඛනිජ තෙල් සංස්ථාව බෙදුම්කරුවන්ට නව වට්ටම් ක්‍රමයක් හඳුන්වා දෙයි

by sachintha
February 27, 2025 2:47 am 0 comment

ලබන මස පළවැනි දා සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් සඳහා ලබා දෙන නව වට්ටම් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ඛනිජ තෙල් නීගත සංස්ථාව පෙරේදා (25) නව වට්ටම් මුදල් ප්‍රමාණයන් තම බෙදුම්කරුවන් වෙත දැනුම් දී ඇත.

මෙහිදී දුර බැහැර ප්‍රදේශවල පිරවුම්හල් පවත්වාගෙන යෑමේ අපහසුතා, නව බෙදුම්හල් සඳහා යන වියදම් පියවා ගැනීම , පිරවුම් හලක් සඳහා යන සත්‍ය වියදම්, පාරිභෝගික මිල දර්ශකය වෙනස්වීම වැනි බොහෝ කරුණු කාරණා සැලකිල්ලට ගෙන ඇත.

මෙහිදී ඉතාම කුඩා පරිමාණයේ පිරවුම්හලකට සියලු බදු , පඩිනඩි හා වියදම් ගෙවූ පසු මසකට රුපියල් ලක්ෂ 2.5කට අධික ශුද්ධ ලාභයක්ද , මධ්‍යම ප්‍රමාණයේ පිරවුම්හලකට රුපියල් මිලියනයකට අධික ශුද්ධ ලාභයක්ද ලැබෙන අතර, ඉතා හොඳ වෙළෙඳාමක් සහිත පිරවුම්හලකට රුපියල් මිලියන දෙකකට ආසන්න ශුද්ධ ලාභයක්ද ලැබෙන සේ වට්ටම් හඳුන්වා දී ඇතැයි ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි .

මේ වන විට මෙරට ක්‍රියාත්මකව පවතින අනෙකුත් ව්‍යාපාර හා සැසඳීමේදී මෙය ඉතා හොඳ ශුද්ධ ලාභයක් සහිත ,ව්‍යාපාරික වශයෙන් අවදානම ඉතා අඩු ව්‍යාපාරයක් බවද සංස්ථාව පෙන්වා දෙයි.

එම නිසාම නව පිරවුම්හල් ආරම්භ කිරීමට හා දැනට තිබෙන සංස්ථාව සතු කාණ්ඩයේ පිරවුම්හල් ලබා ගැනීමට ඇති ඉල්ලුම අධික බවද සංස්ථාව සඳහන් කරයි.

කරුණු එසේ තිබියදීත්, ඉන්ධන පිරවුම්හල් හිමියන් පැරණි ක්‍රමයට ඉන්ධන විකුණුම් මිලෙන් 3% ඉල්ලා සිටීම ඉතාම අසාධාරණ තත්ත්වයක් බවත් මෙමඟින් රටේ මහජනතාවට ඉමහත් අගතියක් සිදුවී ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ඛනිජ තෙල් සංස්ථාව සතු කාණ්ඩයේ පිරවුම්හල් 230කට අධික ප්‍රමාණයක් පවතින අතර එම පිරවුම්හල් රටේ ජනතාව සතු පොදු දේපොළකි. එවන් දේපොළ පරිහරණය කරමින් ජනතාවට අගතියක් සිදුකරයි නම් , එය වහා නතර කළ යුතුය යන බව සංස්ථාවේ අදහස වී ඇත.

 

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT