පළාත් පාලන ආයතනවලින් අපේක්ෂිත කාර්යභාරය ඉටු නොවන බවත් එම ආයතනවල ප්‍රධාන කාර්යභාරය ගැටලුසහගත බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මේ සඳහා මැතිවරණ නීති ද යම් ආකාරයකට වෙනස් විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
පළාත් පාලන සභික ධාරිතාව මැනීමට ජංගම දුරකතන යෙදවුම් නිර්මාණය කළ පිරිසකට සහතික සහ ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.
පළාත් පාලන ආයතනවල ප්‍රධාන කාර්යභාරය කුමක් ද? ඒ සඳහා ද අපේ සභිකයන් ඒ කාර්යභාරය කරන්නේ කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. මම දකින දේ මේක පටලවාගෙන. පළාත් සභා ආයතන කරන කාර්යභාරය උඩ සභාව විසින් කරනවා. ඒ අයගේ කාර්යභාරය පළාත් පාලන ආයතන කරනවා. බල්බ් එකක් දාන්න ඕන නම් නාගරික මන්ත්‍රීවරයකු ළඟට යන්න ඕනෑ. ඒකත් අතින් දානවා වගෙයි කරන්නේ. පුළුවන් නම් උත්සවයකුත් තියලා දායි. මැතිවරණයේදී දුන් පොරොන්දු මැතිවරණයෙන් පසු ඉටු නොවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඡන්දදායකයාට අයිතියක් තියෙනවා. අපේ රටේ තියෙන සම්ප්‍රදාය තමයි ඡන්දයක් තිබුණට පසු පත් කර ගන්නවා, ආපහු අවුරුදු කිහිපයක් බැණ බැණ ඉන්නවා. ආපසු ඊළඟ ඡන්දෙදි ආයෙම යනවා. ඕක තමයි ක්‍රමය යැයි ද හෙතෙම සඳහන් කළේය.
සුභාෂිණී සේනානායක