මෙරටට පැමිණෙන විදේශිකයන්ට මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගතහැකි පරිදි දිවා-රාත්‍රී විවෘත ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් කොළඹ දී ආරම්භ කරන බව කර්මාන්ත හා ව්‍යවසාකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගියදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති “FACE TO FACE – MEET THE MINISTER” වැඩසටහනට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේ ද කීය.
“කර්මාන්තවල ඔබට තිබෙන ගැටලු විසඳන්න පුළුවන් විදියට අපේ අමාත්‍යංශය ප්‍රතිපත්ති මාලාවක් සකස් කරනවා. ඒක අපි සලකන්නේ අපේ රටේ කර්මාන්ත පවුලක් ලෙසයි. අපේ රටේ මොන ප්‍රතිපත්තිය හැදුනත් මොන ආයතන පිහිටුවාගෙන තිබුණත් ඒවා ජනතාවට වැඩක් වෙන්නේ නැත්නම් වැඩක් නැහැ. මීට කලින් මේ කර්මාන්ත අමාත්‍යංශය යටතට එන්න ඕනෑ ආයතන තිබුණේ වෙන වෙන තැන්වල. ඒවායෙන් විධිමත් සැලැස්මකට වැඩක් සිදු වුණේ නැහැ. අද අපි ඒ හැම ආයතනයක්ම එක මධ්‍යස්ථානයකට අරන් තියෙනවා. කර්මාන්ත ගැන කාටහරි රටේ ප්‍රශ්නයක් තිබෙනවා නම් විසඳගන්න කොහෙවත් යන්න ඕනෑ නෑ.එක තැනකින් විසඳගන්න පුළුවන්. ලංකාවේ කර්මාන්ත අමාත්‍යාංශය තිබෙන්නේ කොහෙද කියා රටේ කර්මාන්තකරුවොත් දැනගෙන හිටියේ නැහැ. රස්තියාදු වෙනවා. මේක තමයි යථාර්ථය. දැන් මේක වෙනස් කරගෙන කර්මාන්ත අමාත්‍යාංශයේ කටයුතු ගමට ගෙනියන එකයි අපේ මේ වැඩසටහනේ අරමුණ.
කර්මාන්ත අමාත්‍යාංශයේ කටයුතු කොළඹ තියෙන්න ඕනෑ නැහැ. කර්මාන්ත තිබෙන්නේ ගමේ නම් කර්මාන්ත අමාත්‍යාංශය කියන්නේ ජනතාවට සේවා සපයන තැනක් නම් ඒ සේවය සැපයෙන්න ඕනෑ අදාළ දිස්ත්‍රික්කයට ගිහින්. ඒ වෙනුවෙන් අපි මේ වැඩසටහන පටන් ගත්තේ. එක කවුළුවකින් ප්‍රශ්න විසඳගන්න පුළුවන් ක්‍රමයක් ලෙස අපි එය හඳුන්වනවා. ඒකට හුරු කරගන්න නම් ඉස්සෙල්ලා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ පිළිබඳ අපි මේ වැඩසටහන ආරම්භ කළා. දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙන වැඩපිළිවෙළක් තිබෙනවා. හැම දිස්ත්‍රික්කයටම දිස්ත්‍රික් කර්මාන්ත ප්‍රවර්ධන සභාවක් පිහිටවනවා. අද අපේ මේ වැඩසටහනේ මූලික අරමුණ තමයි දිස්ත්‍රික් කර්මාන්ත ප්‍රවර්ධන සභාව පිහිටුවන එක. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් එය පිහිටුවනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.
නෙරංජලා වික්‍රමසිංහ