Home » උළුපිටියේ වගා වනඅලි වනසලා

උළුපිටියේ වගා වනඅලි වනසලා

by sachintha
February 27, 2025 1:38 am 0 comment

බළන්ගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ උළුපිටිය ප්‍රදේශයට පැමිණි වනඅලි රංචුවක් ඊයේ (26) අලුයම ලක්ෂ ගණනක් වටිනා ගොඩ මඩ වගා රැසක් විනාශ කර දමා ඇති බව වගාකරුවෝ පවසති. කුඹුරු වගාවන්, පොල්, කෙසෙල්, පුවක්, ගම්මිරිස්, තේ ඇතුළු වගාවන් රැසකට විශාල අලාභහානියක් සිදුකර ගොස් තිබෙන බවත්, දැනට දින කිහිපයක් තිස්සේ උළුපිටිය ප්‍රදේශයට වනඅලි ගැටලුව තිබෙන බවත් එම ජනතාව පවසා සිටිති. මෙම වනඅලි ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටිය ද, ඒ සඳහා කිසිදු බලධාරියකු මෙතෙක් මැදිහත් නොවුණු බවට ද ඔවුහු චෝදනා කරති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ටී.ඩී. කරුණාවතී මහත්මිය මෙසේ කීවාය.

‘කොහෙන්දෝ පන්නපු අලි තුන්දෙනෙක් තමයි මේ උළුපිටිය ගමට එන්නේ. ඊයේ ඇවිත් අපි අවුරුදු ගාණක් තිස්සේ වගා කරපු බෝග සියල්ලම විනාශ කළා. ඒ මදිවට පූදින කුඹුරු වගාවත් විනාශ කරලා ගිහින්. කුඹුරු ආරක්ෂා කරගන්න ගස් උඩ අට්ටාල හදාගෙන ඉන්න වෙලා තියෙන්නේ. බලධාරින්ට කිවුවම අලි වෙඩි දෙකක් දීලා යනවා. ඒක එක රැයෙන් ඉවර වෙනවා. මේ අලි තුන්දෙනා පන්නලා දමනකන් මේකට විසඳුමක් නැහැ. වත්තට යන්න බයයි, පාරක යන්න බයයි. වගා කරපු බෝගයක අස්වැන්න ගන්න නැහැ. බලධාරින්ට කිවුවට වැඩක් නැහැ. අපි කොච්චර අසරණ වෙලාද ඉන්නේ මේ අලි ප්‍රශ්නය නිසා.’

බළන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT