මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරය බිඳ දමමින් නිකවැරටිය ප්‍රදේශයේ වී ගොවීන් සිය වී අස්වනු නිකවැරටිය රජයේ වී ගබඩාව වෙත අලෙවිය සඳහා ගෙනවිත් මංගල වී තොගය රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලයට ලබාදීමට කටයුතු සිදු කෙරිණි.
නිකවැරටිය ප්‍රදේශයේ සුළු හා මහා වාරි ව්‍යාපාරවල වී අස්වනු නෙළීම් ආරම්භ කර ඇති අතර අක්කර හත් දහසකින් පමණ යුතු, මාගල්ල වාරි ව්‍යාපාරයේ ගොවීන් මෙලෙස රජයේ වී ගබඩාව වෙත රජයේ සහතික මිලට වී අස්වැන්න අලෙවි කිරීම සඳහා වී තොග රැගෙන ආහ.
ගොවීන් සඳහන් කළේ, මෙවර මහ වැසි සහ රෝග තත්ත්වයන් හේතුවෙන් කුඹුරුවල වී අස්වනු අඩු වුවද, තම යුතුකමක් හා වගකීමක් ලෙසත්, පවතින මහා පරිමාණ ව්‍යාපාරික සහල් ඒකාධිකාරය වෙනස් කිරීම සඳහා රජයට සහාය දැක්වීම සඳහාත්, මෙලෙස වී තොග රජයට ලබා දීමට තීරණය කළ බවයි.
එසේම රජය පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක්ද , වී වලට ඉහළ සහතික මිලක්ද, ගොවීන්ට ලබා දී තිබියදී රජයට වී ලබාදීම ගොවීන්ගේ වගකීමක් හා යුතුකමක් වන බවද ගොවීහු වැඩිදුරටත් සඳහන් කළෝය.
එම අවස්ථාවට එක්ව සිටි සම්බන්ධීකරණ ලේකම් නිලන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, රජයට වී ලබාදීමට තීරණය කළ ගොවීන්ට ස්තුතිය පුද කරන බවයි. නිකවැරටිය වී ගබඩාව වී වලින් පිරවීම සඳහාත්, වර්තමානයේ පවතින මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරික ඒකාධිකාරය බිඳ හෙළීම සඳහාත්, රජයට සහාය දක්වන ලෙසත්, ගොවි ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියේය.
නිකවැරටිය – ගයන්දි පමෝධා