ජපන් තානාපති Isomata Akio මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් පසුගියදා (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී ජපන් රජය සහ JICA ආයතනය විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති. මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතිවල තත්ත්වය සහ මෙතෙක් අත්කරගත් ප්‍රගතිය ගැන ඇමැති සහ තානාපති අතර සාකච්ඡා පැවැත්විණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන ආකාරයෙන් කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, දේශීය කෘෂිකර්මාන්තයට පොහොර සහ කෘමිනාශක නිවැරදිව සහ නිවැරදි ප්‍රමාණයන්ගෙන් භාවිත කිරීම පිළිබඳ තාක්ෂණික හා උපදේශන සහාය ලබා ගැනීම, උතුරු නැඟෙනහිර ප්‍රදේශවල දේශීය දියර කිරි කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය උපදේශන සහ තාක්ෂණික සහාය ලබා ගැනීම, වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.
දේශීය ගොවි ජනතාව සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ සිට නව්‍යකරණය වූ කෘෂිකර්මාන්තයක් වෙත ගොවියා රැගෙන යාම සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයෙන් ඉවත්ව යන තරුණ පිරිස නැවත කෘෂි ක්ෂේත්‍රය වෙත ආකර්ෂණය කරගත හැකි නව තාක්ෂණය උපයෝගී කර ගැනීම ගැනද මේ සාකච්ඡාවේදී අවධානයට යොමුවිය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවත් කෘෂිකර්ම ඇමැතිවරයා කළ ඉල්ලීමක් පරිදි ගොවිබිම් සංවර්ධනය සහ නව්‍යකරණය කිරීම ගැන යෝජනා මේ වන විටත් සලකා බලමින් සිටින බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විශාල පිරිසක් ජපානයේ කෘෂිකාර්මික අංශයේ සේවය කරන බවත් තවදුරටත් මේ අවස්ථා වර්ධනය කිරීමේ හැකියාවක් පවතින බවත් තානාපතිවරයා මේ අවස්ථාවේ අවධාරණය කළේය. කෘෂිකර්ම ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකිකයන් අතර ජපානය කෙරෙහි විශාල විශ්වාසයක් පවතින බවයි. මේ දිගුකාලීන සබඳතා සහ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ජපානය සමඟ ඉතා සමීපව ඉදිරියේ දී වැඩ කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ජපන් තානාපති Isomata Akio ඇතුළු නිලධාරීන්, JICA නිලධාරින් පිරිසක්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
බුද්ධිකා ඉඹුලාන