චිලී දේශයේ මිලියන 19ක ජනතාව අඳුරට ඇද දමමින් දීපව්‍යාප්ත විදුලිය බිඳ වැටීමක් සිදුවී ඇති අතර, රට පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ රාත්‍රී 10.00 සිට අලුයම 6.00 දක්වා ඇඳිරි නීතිය පැනැවීමට ද චිලී රජය පියවර ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. දශකයකට අධික කාලයකට පසු චිලී දේශයේ සිදුවූ විශාලතම විදුලිය බිඳ වැටීම මෙය වන බවත්, එරට ජනගහනයෙන් 98% කටම විදුලිය අහිමි වී ඇතැයි ද, ප්‍රාන්ත 16කින් 14කට විදුලිය විසන්ධි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සන්තියාගෝ අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවය ඇතුළු සමස්ත ප්‍රවාහන පද්ධතිය මුළුමනින්ම අක්‍රීය වීමෙන් දහස් සංඛ්‍යාත කාර්යාල සේවක සේවිකාවන් දුෂ්කරතාවට පත්වූ බවත්, මාර්ග සංඥා ක්‍රියාත්මක නොවීමෙන් දැඩි මාර්ග තදබදයකින් නගරය ව්‍යාකූල තත්ත්වයකට පත්වූ බවත් වාර්තා වේ.
චිලී දේශයේ විදුලිය විසන්ධි වීමට හේතු වී ඇත්තේ එරට උතුරු ප්‍රාන්තයක පිහිටි අධීබලැති විදුලි සැපයුම් මාර්ගයක් බිඳ වැටීම බවට එරට අභ්‍යන්තර කටයුතු සහ මහජන ආරක්ෂක ඇමැතිනිය කැරොලිනා ටෝහා ප්‍රකාශ කර ඇති අතර, විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද සඳහන් කර තිබේ. කෙසේ වුවද මෙය සයිබර් ප්‍රහාරයක් විය හැකි බවට ද වාර්තා පළ වී තිබේ.
ඊයේ වනවිට චිලී දේශයේ ඇතැම් ප්‍රාන්තවල සන්නිවේදන සැපැයුම් ජාලා සියල්ලම අක්‍රිය තත්ත්වයේ පැවැති බවත්, ගුවන්තොටුපොළ මෙහෙයුම් අඩාළ වීමෙන් ගුවන් ගමන් රැසකට ද බලපෑම් එල්ල වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදුලිය විසන්ධි වීමෙන් අගනුවර ඇතුළු නගර ගණනාවක ව්‍යාපාරික ස්ථානවලට සහ නිෂ්පාදන සමාගම්වලට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති අතර, රට පුරා ව්‍යාප්ත තඹ ආකරවල වැඩ කටයුතු නවතා දැමීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ. චිලී දේශය ගෝලීය තඹ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන බැවින් ගෝලීය තඹ වෙළෙඳපොළට ඉන් බලපෑම් එල්ල වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.