‘ඈ බං නන්දසේන, උඹට අර මනුස්සයා මුලිච්චි වුණාද? ’ ‘කොයි මනුස්සයද මුදලාලි…’ ‘අර විපුලසේනය බං, ඕං උඹ දීපු බත් එකත් කාලා උඹල ගෙවල් තියෙන අහ ගැන විපරම් කර කර ගියා, ඕන්නං පැයක් යන්න ඇති….’
ප්‍රවීණයකුගේ අදහස්
මෙම කෙටිකතාවේ මූලික තේමාව සන්ධාන සහෝදරත්වයයි. නන්දසේන සහ විපුලසේන අතර ඇතිවෙන අරුම පුදුම සබඳතාවය, මීට පෙර නොදැන සිටි සහෝදර කු ගැන හටගන්නා හැඟීම්බරය කතාවේ මූලික මූලාශ්‍රය වේ. පවුලේ සබඳතාවය, අතීතයේ අහිමි වීම, සහ නැවත එකතු වීම මඟින් නන්දසේනගේ හැඟීම් ගැඹුරු කරයි. කතාවේ සංවාද භාවිතය ස්වාභාවිකය. නන්දසේන සහ කාන්ති අතර සිදුවන කුටුම්භ ජීවිතය නියෝජනය කරන සංවාද මඟින්, එය මැනවින් ප්‍රකශිත වේ. හාමුදු වෝ, මුදලාලි වැනි අතුරු චරිත ද ප්‍රබන්ධයට ජීවයක් එක් කරයි. කතාවේ මැද භාගයේ සිට, අතීතය සහ වර්තමානය අතර ගැඹුරු සබඳතාවයක් ගොඩනඟා ගැනීමට කෙටික කරුවා සමත් වී ඇත. විපුලසේනගේ පැමිණීමෙන්, නන්දසේනගේ ජීවිතය තුළ නව පිටුවක් දිගහැරෙයි. මෙම යථාර්ථවාදී හැඩගැසීම කතාවට තවත් වටිනාකමක් එක් කරයි. මෙම කතාවේ ලාංකේය ගැමි සමාජයක සාමූහික ජීවිතය, පවුල් සබඳතා, සහෝදරත්වය සහ අතීතය මත ගොඩනඟන ලද හැඟීම් මත අඳින ලද හෘද සාක්ෂියක පදනමක් ඇත. එය මනුෂ්‍ය හැඟීම්, ආදරය, සහ අහිමි වීම වැනි මානව සංවේදීතාවයන් නිරූපණය කරන හදවතට අමතන කතාවකි.
සුපුරුදු පිරිත් හඬ සමඟ ඇස් ඇරපු නන්දසේන නිදි වගේ ඔහේ හිටියෙ කාන්ති ඇවිත් කූද්දනකල්. ‘වයස ගියාට මොකද හිතේ මනමාලකම නම් එහෙම්මමයිÓ එහෙම හිතුනෙ නන්දසේනටමයි. කවදත් හිතට අවංක නන්දසේන, හිතෙන දේ කියපු කෙනෙක්
කොච්චර උදෙන් ඇහැරුණත් නන්දසේන රේඩියෝවෙ පිරිත් හඬ ඇහෙනකල්ම ඉන්නෙ, කාන්ති ඇහැරිල කියල දැනෙන සංඥාව පිරිත් හඬ නිසාමයි. ඒත් එක්කම කේතලේ ලිපේ තියල ඒක උතුරන අතරෙ තමයි කාන්ති තමන්ව ඇහැරවන්න එන්නෙ. නන්දේ….නන්දේ…. කියලා කියලා බැරි තැන ළඟටම ඇවිත් ඔළුව අතගාන වෙලාවට තමයි නන්දසේන බොරු නින්දෙන් ඇහැරෙන්නෙ. ඒ විදිහට තමන්ව ඇහැරවන එකට නන්දසේන ගොඩක් කැමතියි.
‘නන්දෙ අද අපේ මුර දානෙ, අමතක වුණා ද ඔයාට… තේක බීලා මට පොල් ටිකක් ගාලා දෙන්නකො.
නැත්තං වෙලාවට පන්සලට දානේ ටික යවාගන්න බැරිවෙයි’
Òහරි හරී සුදු නෝනා බයවෙන්න එපා, විනාඩියක් තියල හරි මං දානෙ ගිහින් දෙන්නම්. ඒත් එක්කම වැඩිපුර බත් පාර්සලයක් බැඳල ගමුකො’
‘ඈ නන්දෙ, ඒ කාටද වැඩිපුර පර්සලයක් ගෙනියන්නෙ…’
කාන්ති එහෙම අහද්දි තමයි නන්දසේනට මතක් වුණේ ඊයෙ සිද්ධිය.
‘කාන්තියො, ඊයෙ හවස් යාමෙ ගෙදර එන ගමන් මං කෙනෙක්ව දැක්ක බං…’
‘කෙනෙක් කීවෙ, කවුද නොකිය මං කොහොමද දන්නේ…’
‘කවුද කියන්න ඉතින් මං දන්න එකක්යැ…’
‘එහෙනං…’
‘නෑ බෑ ටිකක් මං වගේ ඈයෙක් කඩමණ්ඩියේ උන්නා, පෙනුමෙ හැටියට උන්දැ පිටගංකාරයෙක්, ඒත් බං මට ඒ මනුස්සයගෙ මොකක්දෝ හුරුවක් දැනෙනව.’
‘හරි හරි මොකා උනත් කාරි නෑ, බඩ ගින්නක් නිවෙනවනම් ඒක පිනක්… මං බත් එකක් බැඳල දෙන්නම්කො, ඔහේ දැන්වත් තේක බීල මේ පොල් ටික ගෑවනං…’
තුන්වෙනි පාරටත් කියන්න නොතියා නන්දසේන පොල් බෑය අතට ගත්ත, පොල් ටික ගාන අතරෙ නන්දසේනගෙ හිත පුරා කරක් ගැහුවෙ ඊයෙ මුණගැහුන ආගන්තුකයා. ඇරපු අතක් නෑ මිනිහා මං වගේමයි. නන්දසේනට තාම පුදුමයි. සහෝදරයෙක් කියලා කිසි කෙනෙක් නැති තමන්ට තමන් වගේම කෙනෙක් මුලිච්චිවීම නම් පුදුමයක්. නමුත් ‘කොහොම වුණත් ඔය හාදයා අද හෙට ගමෙන් යන පාටක් නෑ මයෙ හිතේ…’ තාලෙට පොල් බෑය ගාන ගමන නන්දසේන හිතනව.
‘ඈ මනුස්සයො ඔය කුරුට්ට ගාන්නෙ අහවල් දේකටද… ඔහේට මක් වෙලාද අද… යසට තියෙයි සම්බෝලෙ…’
කාන්තිගෙ සද්දෙට නින්දෙන් ඇහැරුණා වගේ නන්දසේන ඇස් ලොකු කරන් බැලුවෙ….‘මොකද ගෑණියෙ බෙරිහන් දෙන්නේÓ කියල අහන්න වගේ.
කොහොම වුණත් තමන් හිතත් එක්ක කතා බහ දුර ගියා වැඩියි කියල නන්දසේන තේරුම් ගත්තෙ කළුවට ගෑවිල තිබ්බ පොල් කුරුට්ට දැක්කමයි.
************************************
‘සුවපත් වේවා…., කොහොමද නන්දසේන උන්නැහේ… මේ දවස්වල ගොයිතැන් කාරිය…’
‘ඒ ගැන කවර කතාද අපෙ හාමුදුරුවනේ… මේ පෑයිල්ලත් එක්ක මොන ගොයිතැන් කෙරුවාවක්ද… ජලාශයෙන් වතුර දෙනව කිව්වට ඔව්ව කෙරෙන එකක්යැ….’
‘ඒක හැබෑව…. මොන පාටින් ආණ්ඩු කළත්, මේ පුරස්නෙට හරිහමන් විසඳුමක් දෙන්න කාටවත් බැරි වුණා නෙව…’
‘අනේද කියන්නෙ අපෙ හාමුදුරුවනේ, කීප දොහක්ම එකේක කන්තෝරුවලින් මහත්තුරු ආවා. ඒත් ඒ ඇත්තො කොළ පුරවල අපෙන් අත්සන් ගත්තුවට වැඩක් නම් කෙරුණෙ නෑ ඕන්….’
‘හ්ම්ම්ම… හ්ම්ම්….’
‘නන්දසේන උන්නැහේට කියන්න, මං පහුගිය පෝයටත් කලින් ගොහින් මතක් කරපු අපෙ දහම් පාසලේ වැඩේ තාම කෙරුණෙ නෑ නොවැ.
දරුවෙක් ගෙ ඇස් පාදන්න ඉස්කෝල ඕන බව ඇත්ත, ඒත් ආගම දහම, හැදියාව දියුණු වෙන්න නම් දහම් දැනුම අනිවාර්යයි.’
‘ඕව තේරුම් බේරුම් කර ගන්න තරමට ඔය ඉහළ පුටුවල ඈයො බුද්ධිමත් නෑ නොවැ හාමුදුරුවනේ… ’
‘ඒක ඇත්ත…. දැනුමයි, බුද්ධියයි දෙකක් නොවැ නන්දසේන උන්නැහේ.. ’
*******************************
දානය පිළිගන්වල වතාවත් ටික කරපු නන්දසේන, පන්මල්ල අතට ගනිද්දි ඉවකරල බැලුවෙ අර මනුස්සයට ගෙනාව බත් එක.
‘බත් එක නම් හරි ඒත් ඒ යෝධයා හොයාගන්න කොහොමද…’ නන්දසේන හිතත් එක්කම කතා කරමින් කඩමණ්ඩියේ පැත්තට ඇදුනෙ, ඊයෙ අමුත්තා මුණගැහිච්ච ඉසව්වෙ විපරම් කරන්න හිතාගෙන.
උදේ වරුව වෙලත් ඉර ඔරවන්නෙ කිසි අණක් ගුණයක් නැති ගානට නන්දසේන පය ඉක්මන් කලේ වෙලාව ඉතිරි කරගන්න නෙවෙයි, ඉක්මනින් හෙවණක් හොයාගන්න. පාර දිගට යස අගේට හැදිල තිබ්බ රූස්ස ගස් ටික පහුගිය මැතිවරණෙන් පස්සෙ ලොරිවලින් පිටත්වුණේ කාගෙ කීමටද කියන්න නොකිව්වට කවුරුත් දැනං උන්න. කල්පනාවෙන්ම කඩමණ්ඩියට ගොඩවුණ නන්දසේන ඇස් වටේටම දිව්වෙ අමුත්තව හොයන්න. ඒත් ඒ මනුස්සයා පේන්න හිටියෙ නෑ
‘ආ… නන්දසේන… මොකෝ බං මේ ඇස් කරකවන්නෙ… උඹෙ මොකවත් නැතිවුණාවත්ද…?
‘අනේ මුදලාලි මේ එහෙම එකක් නෙවෙයි, මං මේ බැලුවෙ ඊයෙ මේ හරියෙ කරක් ගහපු අර පිටගම්කාරය ගැන, උන්දැ ඊයෙ හවහ මේ අහලපහල උන්න නොවැ’
‘ආ… මේ කියන්නෙ අර විපුලසේන ගැන වෙන්ටැ….’
‘විපුලසේන….??? ඈ මුදලාලි ඒ ගොයියගෙ නම විපුලසේන ද?’
‘ඔව් බං,මං ටිකක් ආගිය තොරතුරු කතා බහ කරල බැලුව, ඔය රජරට දිහෑවෙ ඉඳන් ඇවිත් තියෙන්නෙ මොකද්දෝ වැදගත් වැඩකටය කියන්නෙ’
‘එහෙමද? මුදලාලි…. මං මේ බැලුවෙ මේ පලාතෙ උන්දැට කාත් කවුරුවත් නැති එකේ කෑම බීම හෙම කොහොමද කියල’
‘හ්ම්ම් හ්ම්ම්… ඒක හොඳා නන්දසේන ඉතින් තමන්ගේ බඩ පිරෙන්න කලින් අනික් එව්වො ගැන හිතන එකා බව අපි නොදන්නවෑ ඉතින්’
‘හෙනං මුදලාලි ඒ ගොයියා මේ පැත්ත ආවොත් මේ බත් මුල දුන්න නං, අපේ ගෙදර අද මුර දානෙ, මං ඉතින් ඒ මනුස්සයාට කියලා බත් එකක් අරන් ආවා. Ó
‘හොඳා හොඳා නන්දසේන මං දෙන්නං, හැබැයි ඉතින් ආවොත් තමා..’
එහෙම කියලා මුදලාලි බත් මුල අරන් රාක්කෙ උඩින් තිව්වා. ඒත් නන්දසේනගෙ හිතට හරි මදි.
*********************************
‘මුදලාලි මට බුලත් විටක් දුන්න නං….’
‘ඈ බං නන්දසේන, උඹට අර මනුස්සයා මුලිච්චි වුණාද?’
‘කොයි මනුස්සයද මුදලාලි…’
‘අර විපුලසේනය බං, ඕං උඹ දීපු බත් එකත් කාලා උඹල ගෙවල් තියෙන අහ ගැන විපරම් කර කර ගියා, ඕන්නං පැයක් යන්න ඇති….’
ඒක ඇහුන විතරයි නන්දසේන බුලත්විට දෙනකල්වත් පමාවෙන්නෙ නැතුව හණික පය ඉක්මන් කළේ, අද කුඹුරෙ ගතකරපු කාලෙ වැඩි බව හිත හිත.
කඩුල්ල පනිද්දිම නන්දසේන ගේ හිත ගිඩි ගිඩි ගානව. මොකක් නමුත් කියාගන්න බැරි කලබලයක් හිතේ පෙරළෙනව නන්දසේනට දැනෙනවා. වෙන දේකට මූණ දෙන්න හිතාගෙන නන්දසේන පිළට ගොඩවුණේ අමුත්තා දිහා බලන ගමන්
‘අයියෙ….’
ඒ වචනෙ තමුන්ට ඇහුනෙ හීනෙන්ද, නැත්තං හැබැහින්ද කියලා තෝර බේරගන්න නන්දසේන අමුත්තා දිහෑවෙ හොඳින් ඇස් ඇරල බැලුව.
ඒ අතරෙදි කාන්ති එබුණෙ තේ කහට කෝප්පයක් එක්ක.
‘නන්දෙ… මේ ඇත්තො ඔහේගෙ මල්ලියි කියන්නෙ….’
‘ඈ…..‘නන්දසේනගෙ කටත් ඇරිලා ඇසුත් උඩ ගිය වග දැකපු කාන්ති, අමුත්තා ටිකකට කලින් පෙන්නපු ලියුම් කරදහිය නන්දසේනට දික්කලේ කතාව හගිස්සන්න.
ආදරණීය ලොකු පුතේ,
මට සමාවෙන්න. මං ගත්තු එක වැරදි තීරණයක් නිසා ඔයාව පුංචි කාලෙදිම මගෙන් ඈත් කරල තිබ්බට.
මං ඒ ගැන වැඩි විස්තර ලියන්න කැමති නෑ. ඒත් කවද හරි දවසක මේ ලියුම ඔයාගෙ අතට ගන්නෙ ඔයාගෙ සහෝදරයෙක්.
මීට
ආදරණීය තාත්තා
ලියුම තිබුණෙ එච්චරයි. නන්දසේන වාඩිවෙලා උන්නු අමුත්තා දිහා බැලුවෙ ලියුම අතේ තියන්. තාත්තගෙ අත් අකුරු අමතක වෙන්න තරම් නන්දසේනට අතීතය අමතක වෙලා නැහැ. ටක්කෙටම ඒ උන්දැගෙ අත් අකුරු.
‘එතෝට මේ මගෙ මල්ලි….’
පුටුවෙන් නැඟිට්ට විපුලසේන
‘අයියේ…’ කියාගෙන නන්දසේන ගාවින් පාත්වෙලා වැන්දා….
කාන්තිත් බලන් උන්නෙ ඇස් නළලෙ තියන්.
‘ඈ බං කාන්තියො තනි ගහක් වගේ උන්නු මට ඕන් සහෝදරයෙක් පහළ වෙලා.’
‘ඉතින් ඔහේට ටක්කෙටම කියතෑකිද මේ ඔහෙගෙ සහෝදරයෙක් කියල’
‘නැතුව නැතුව… ඒ දවස්වල අම්ම කියාපු විස්තරත් එක්ක හොයමින් ගැළපෙනව මේ ලියමන’
‘ඈ බං මලය…’
‘අයියෙ…’
‘එතෝට තමුං තකහනියක් මෙහෙට සේන්දු වුණේම මේ අහ ඉන්න බව දැනගෙනමද…’
‘නෑ අයියෙ, තාත්ත කියල තිබුණ විස්තරත් එක්ක මං ගලෙන්බිඳුණවැව පැත්තෙ ගොහින් හොයල බැලුව, එහෙන් තමා අයියල පදිංචිය වෙනස් කරපු වග දැනගත්තෙ…’
‘ඒක මිසක්…’
නන්දසේන උරිස්ස ගස්සල කිව්වෙ ලොකු අයිය කෙෙනක් වගේ.
‘මට යමක් කියන්න තියෙනව අයියට,’
‘ඒ මක්කද?……’
‘තාත්ත ගැන…’
‘ඔහේගෙද… මගේද?…’
‘දෙන්නගෙම’
‘හ්ම්ම්, කිව්ව නං…’ නන්දසේන මේ කතා කරන්නෙ මවාගත් ආඩම්බරකමකින් විත්තිය කාන්තිට නම් තේරුණා.
ඉන් මනත අයිය මලෝ කතන්දර මැද්දට තමන් ඕන නැති වග තේරුම් ගත්ත කාන්ති කුස්සියට ගෑටුවෙ ඒ දෙදෙනාට නිදහසේ කතා කරගන්න ඉඩපාසුකම් හදා දීලා.
බදුර්නිශා අබ්දුල් අසීස්