Home » සියල්ලටම හේතුව සිතයි ලේඛක චම්මින්ද වෙලගෙදර

සියල්ලටම හේතුව සිතයි ලේඛක චම්මින්ද වෙලගෙදර

by sachintha
February 27, 2025 2:04 am 0 comment

හේ වෘත්තියෙන් විශ්‍රාමික බැංකු නිලධාරියෙකි. රූපවාහිනී තිර නාටක, සමාජ විමර්ශන, අධ්‍යාපන, කෙටිකතා, නවකතා සහ චරිතාපදාන යනාදී අංශ යටතේ ග්‍රන්ථ රැසක් දායාද කළ ලේඛකයෙකි. ඔහු යාය තුන, පසංසිතෝ, සත්පුරුෂ, කාලඅග්නි, පැන් කෙණ්ඩියක් සහ සන්තිපරං යන නවකතා රචනා කළේය. ඔහුගේ නවතම නවකතාව ස්වප්නේශ්වරයි. ලේඛක චම්මින්ද වෙලගෙදර සමඟ ස්වප්නේශ්වර පිළිබඳව අප කළ සාකච්ඡාව මෙසේ දිග හරිමු.

ස්වප්නේශ්වර යනුවෙන් ඔබේ ග්‍රන්ථය නම් වන්නේ කුමන අරුතකින්ද ?

“සිහිනයේ සරන්නා” යන්න මෙහි අදහසයි. මේක ධම්ම පදයේ ගාථාවක්. මේ සිටින්නා ජීවත් වෙන්නේ සිහිනයකයි. ලංකාවේ පුද පූජා, විශ්වාස එක්ක මතු වුණු භූතයෝ, යක්කු වගේ නොපෙනෙන ආත්මයක් පිළිබඳවයි මම මෙතැන කතා කරන්නේ. මේක ලංකාවේ ආදිවාසීන්ගේ විශ්වාසයක් මත පදනම් වූ ඇදහිල්ලක්. ඒ ඇදහිල්ල පසුකාලීනව බලි යාගයක් වුණා. තොයිලයක් වුණා. ගම්මඩුවක් වුණා. ශාන්ති කර්මයක් වුණා. මේ ශිල්පයට කැපවුණු ජීවිතත් එක්ක සිදුවන සිදුවීම් රාශියක් තමයි ස්වප්නේශ්වරින් කියැවෙන්නේ. මාතර පැත්තේ පාරම්පරික තොවිල් පවිල්වලට නම් දරාපු පවුලක් වටායි මේ කතා වස්තුව ගොඩනැඟෙන්නේ. මේ පවුලේ පුත්‍රයා තොවිල් පවිල්, වගේම පාරම්පරිකව උරුම වෙලා තිබූ වෙදකම ඉතාමත් උතුම් ලෙස කරගෙන යනවා. ඒ අතරේ ඔහුගේ පුත්‍රයා බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ වෛද්‍ය විද්‍යාලයට යන පළමු දරුවා බවට පත්වෙනවා. ඔහු වෛද්‍ය විද්‍යාව හදාරන අතර, පාරම්පරිකව උරුම වූ දේවල් පිළිබඳවද ගැඹුරු අධ්‍යයනයක් කරනවා. ඒ වගේම බටහිර හා සිංහල වෙදකම මිශ්‍ර කරගෙන මිනිසුන් සුවපත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද කියලාත් හොයනවා. මේ අතර පියා හදිසියේම උඩරට ගමක කංකාරියකට යනවා. එහිදී තමන්ගේ මියගිය පියා ඔහුගේ සහායට එනවා. ඒ නිසාම ඔහු ගම්මඩුව ඉතා සාර්ථක ලෙස සිදු කරනවා. එදා කෝට්ටේ යුගයේදී වීදාගම හාමුදුරුවොයි, රාහුල හාමුදුරුවොයි ඉන්දියාවේ බිලි පූජාවක්ව තිබූ ශාන්ති කර්මය බලි පූජාවක් බවට පත් කරනවා. බුදු දහමත් ඊට සම්බන්ධ වෙනවා. සතුන් මැරීම මෙහිදී ඉවත් වෙනවා. බුදු ගුණ මුල් කරගත් මිනිසුන්ට සෙත් ශාන්ති කරන ශාන්තිකර්ම බවට පත්කරනවා. බටහිර වෙදකම හා දේශීය වෙදකම කියන මේ ක්‍රම දෙකම මිශ්‍ර කරගෙන සුවපත් කරන්න බැහැ කියපු රෝගීන් ඉතා සාර්ථකව සුවපත් කරන කතාව තමයි මේ ස්වප්නේශ්වර තුළින් දිගහැරෙන්නේ.

මෙහි සිහින දකින්නෝ කවුරුන් ද ?

මනුෂ්‍යයන් විදිහට අපි හැම කෙනාම සිහින දකිනවා. අපි හැම කෙනා ළඟම සිහිනයක් තියෙනවා. ඒ වගේම අපි සියලු දෙනාම ජීවත් වෙන්නේ සිහින තුළයි. අපි හැම කෙනාටම ඉෂ්ට සිද්ධ කරගන්න පරමාර්ථ තියෙනවා. අපේ ආදිවාසීන්ගේ බලාපොරොත්තු තමයි ඇදහිල්ලෙන් මතු වුණේ. ඒ ඇදහිල්ල මත තමයි පූජාවන් අභිචාර විධි මතුවුණේ. ආදී මිනිසා ශිෂ්ටසම්පන්න වෙලත්, මේ දක්වාම තවමත් මිනිසුන් අතර සිහින තියෙනවා. සිහින දකිනවා. ඒවගේම ඔවුන් සිහිනවල සරමින් යථාර්ථය සොයාගෙන යනවා. ඒවගේම තමන්ගේ සිහිනයේ සරමින්ම යථාර්ථය සොයාගෙන යන සුන්දර මාන කියන පියා සහ ඔහුගේ පුත්‍රයා වන සුදාරකගේ කතාව තමා ස්වප්නේශ්වරයට පදනම් වෙලා තියෙන්නේ.

ස්වප්නේශ්වර වෙනුවෙන් ඔබ කිසියම් පර්යේෂණයක නිරත වූවාද ?

ඔව්. මේ අවුරුදු තුනක පර්යේෂණයක ප්‍රතිඵලයක්. 2020 – 2023 දක්වා කාලය තුළ මේ පර්යේෂණය සිදු කළා. මගේ දර්ශනශූරී උපාධි නිබන්ධනයේ හතරවෙනි පරිච්ඡේදය තමයි මේ නවකතාව.

ඔබ නවකතාවකට මෙවන් තේමාවක් තෝරා ගත්තේ ඇයි ?

කංකාරි, පුද පූජා, යක්ෂයා සම්බන්ධ කතා පිළිබඳව ඇතැම් අයගේ දැක්ම එය අවර ගණයේ කටයුත්තක් ලෙසයි. ඒ වගේම මේක නූගතුන්ගේ ක්‍රියාවක් ලෙසත් ඔවුන් විශ්වාස කරනවා. විද්‍යාව, තාක්ෂණය, උගත්කම පිළිබඳ විශ්වාස කරන ඇතැම් සමාජ වාසීන් භූතාපසරණ විෂය ආදිවාසීන්ගේ ක්‍රියා ලෙස බැහැර කරනවා. නූතනය ඉතා දියුණු බව කියන ඇතැම් අය කිසියම් සමාජ සංයුතියක් හදනවා. ඒත්, මේ තත්ත්වය තුළ කිසියම් සැඟවුණු ඉතා ගැඹුරු යථාර්ථයක් ඇති බව සොයන්න ඕන කියලා මට හිතුණා. ඒ වගේම එයින් මට කිසියම් වැදගත් සමාජ රූපයක් හෙළි කර ගත හැකි බවත් මම විශ්වාස කළා. ඒ නිසාම මගේ සිතුවිලි ගොඩක් භූත, යක්ෂ සහ දේව කටයුතුවලට ඇදී ගියා. මං ඒවයේ කිසියම් ආකර්ෂණයක් දුටුවා. ඒ මං සොයා ගිය පර්යේෂණයේ අතුරුඵලය තමයි මේ නිර්මාණය.

ඔබේ ග්‍රන්ථයට සත්‍ය සිදුවීම් හා සත්‍ය කතා පදනම් සහ පසුබිම් වූවාද ?

වසර තුනක් තිස්සේ මම දකුණ, නැඟෙනහිර, උතුර සහ උඩරට ප්‍රදේශවල ඇවිද්දා. බලි තොවිලි යාග කංකාරය කරන ඇදුරන් මුණගැසුණා. ඇතැම් අය ඉතා වයෝවෘද්ධයි. ඒත්, ඔවුන්ගේ මතකයන් අසීරුවෙන් හරි මම ගත්තා. ඒ අතරින් දැනට සක්‍රියව ඉන්න විශේෂ දෙන්නෙක් ඉන්නවා. කඩුවෙල රංජිත් මහතා සහ ගලේවෙල සුනිල් ගාමිණී මහතා ඒ අතරින් ප්‍රධානයි. මේ අය ඉතා ගැඹුරින් ශාස්ත්‍රීය මට්ටමෙන්, වංචාවෙන් තොරව, මේවා හදාරමින් පාරම්පරිකව තමන්ගේ ක්ෂේත්‍රය ඉදිරියට ගෙනියන්න කැපවෙන අය. බොහෝ සත්‍ය සිදුවීම් ඔවුන් ඇසුරෙන් මට ගන්න හැකි වුණා.

ඔබ මෙයින් සොයා ගත්තේ කුමක්ද ?

බුදුන් වහන්සේ දේශනා කළා මෙන් හැම දෙයක්ම සිදුවන්නේ සිත මුල් කරගෙනයි. බොහෝ මිනිස්සු තමන් මවා ගත්ත ලෝකවල හිර වෙන්න ගිහින්, අවසානයේදී තනිකම, හුදකලාව පාළුව නිසා අද්භූත බලවේගවලින් පහර දෙනවා කියලා විශ්වාස කරනවා.

නොපෙනෙන බලවේග නැහැයි කියා කියන්න බැහැ. මට හමු වූ බොහෝ දෙනෙක් යක්ෂයන් සහ භූතයන්ගෙන් වැඩ ගත් අය. ඔවුන් ඒ බව මට ඔප්පු කර පෙන්නුවා. මරණාසන්න මොහොතේදී ඇතිවන සිතුවිලි මත, ඇතමුන්ගේ ඊළඟ භවයේ උප්පත්තිය යක්ෂ භූත ආත්මවලයි. මේ පර්යේෂණය අවසානයේදී, යක්ෂයෝ සහ භූතයෝ කියලා පිරිසක් ඉන්නවා කියලාත් මම අවබෝධ කරගත්තා.

සාහිත්‍ය සම්මාන ඇගයීම් පිළිබඳ ඔබේ අදහස කුමක්ද ?

මම කිසිම නිර්මාණයක් සම්මාන බලාගෙන කරන්නේ නෑ. මගේ පොත කියවලා කෙනෙක් මට බැන්නත් සතුටුයි. මොකද මගේ පොත එයා කියවලා. කියවනවා දකින්නයි මම කැමති. පාඨකයන් වියදම් කරන මුදලට, පොත කියවන්න ගෙවන කාලයට බැංකු කළමනාකරුවෙක් විදිහට පාඩුවක් නොවී පොලියකුත් එක්ක ගෙවන්නයි මම උත්සාහ කරන්නේ.

මෙහිදී ඔබ යෙදූ භාෂාමය උපක්‍රම මොනවාද?

1800 ගණන්වල දකුණේ භාෂාවත්, උඩරට ජනයාගේ භාෂාවත් එතම පොතකින් පාඨකයාට ලබා ගන්න පුළුවන් අවස්ථාවක් මේක. මට මේ අභියෝගය දුන්නේ පාලිත පෙරේරා මහතායි.

(ස්වප්නේශ්වර මාර්තු දස 08 දා පෙ. ව 10.00ට මහනුවර ලංකා බැංකු සී බෑන්ක් ශ්‍රවණාගාරයේදී දොරට වඩී. එහිදී සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, මහාචාර්ය සාලිය කුලරත්න, සම්මානිත ලේකඛ කපිල කුමාර කාලිංග සාහිත්‍යවේදී අමිත්ත වීරසිංහ මාධ්‍යවේදී සමන් ජයරත්න ආදීහු දෙසුම් පවත්වති.)

ශ්‍යාමා සමරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT