Home » ‘බැඳුම්කරය’ යනු හොරකමට සමාන පදයක් ද?

‘බැඳුම්කරය’ යනු හොරකමට සමාන පදයක් ද?

by sachintha
February 27, 2025 1:01 am 0 comment

සිංහල භාෂාවේ සමානාර්ථ පද රාශියක් තිබේ. එක සමාන අර්ථ ඇති, පර්යාය පද යන්න මෙහි අදහස ය. ලේඛනයේදී හා භාෂණයේදී අලංකාරවත් ලෙස භාෂාව හැසිරවීමට මෙකී සමාන පද ඉටු කරන්නේ නොමඳ මෙහෙවරකි.

මේ අතර, අපගේ භාවිත භාෂා ව්‍යවහාරයේ ස්ථාපිත වූ තවත් අපූරු වූ සමාන පද ද කිහිපයක් ම පවතියි. ඒවා කාලානුරූපී ලෙස ප්‍රායෝගික භාෂා ව්‍යවහාරයට එක් වූ ඒවා මිස, සම්මත භාෂා ව්‍යවහාරයේ ආ යෙදුම් නොවේ.

‘සක්විති පන්නයේ හොරකමක්’ යනු එවැනි එක් යෙදුමකි. සක්විති රාජ්‍යත්වය යනු ලෞකික ජීවිතයේදී යම් කෙනකුට සාක්ෂාත් කර ගත හැකි උත්තරීතරම සැපත ලෙස හැඳින්වේ. එහෙත් පසුගිය කාලයක මෙනමින් ආරූඪ වූ අයකු විසින් කරන ලද මහා පරිමාණ මූල්‍ය වංචාවක් නිසා ‘සක්විති’ යන්න ‘හොරකමට’ පර්යාය පදයක් විය.

‘බැඳුම්කර මගඩිය’ යන්න ද ජනමාධ්‍යයේ නිතර නිතර භාවිත වන වචනයකි. එයට හේතුවූයේ ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ සිදු කරන ලද මහ බැංකු බැඳුම්කර වංචාවයි. එය එසේ මෙසේ හොරකමක් නොව, අපට ගණනය කිරීමට නොහැකි තරම්, රුපියල් බිලියන ගණනකින් සිදු කරන ලද වංචාවකි. ඒ අනුව, පොදු සමාජය තුළ බැඳුම්කර යැයි කී කල එක්වර සිහිගැන්වෙනුයේ වංචාවක් නැත්නම් මහා පරිමාණ හොරකමක් පිළිබඳවයි.

2015 වර්ෂයේ පෙබරවාරි 27 වැනි දින සිදු වූ මූල්‍ය විශුද්ධිකරණ වංචාවක් ලෙස මහ බැංකු බැඳුම්කර සිද්ධිය හැඳින්විය හැකි ය. එය එතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාව ලෙස ද සඳහන් වේ. ඒ මහා පරිමාණ බැඳුම්කර වංචාව සිදු වී හරියටම වසර දහයක් සපිරෙන අදට ද, ඊට සම්බන්ධ මහමොළකරුවෝ තවමත් නිදැල්ලේ සිටිති.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර යනු මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයකි. භාණ්ඩාගාර බිල්පත් යනු කෙටිකාලීන ශූන්‍ය කූපන් ණය උපකරණයක් වන අතර, භාණ්ඩාගාර බැඳුම්කර යනු මධ්‍යකාලීන මෙන්ම දිගුකාලීන ණය උපකරණයකි. භාණ්ඩාගාර බිල්පත් සඳහා කල්පිරීමේදී මුල් මුදල ගෙවනු ලබන අතර, භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අර්ධ වාර්ෂික කූපන් සහ කල් පිරීමේදී මුල් මුදල ගෙවනු ලැබේ.

රාජ්‍ය වියදම් සඳහා මුදල් සැපයීමේ සහ ණය සුරැකුම් වෙළෙඳපොළ සංවර්ධනය කිරීමේ අරමුණින් රජයේ භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් දෙසතියකට වරක් වෙන්දේසි මාර්ගයෙන් නිකුත් කරනු ලබන දිගුකාලීන ණය සුරැකුම්පත් බැඳුම්කර ගණයට අයත් වේ.

මේ පිළිබඳ ආර්ථික විද්‍යා විග්‍රහයන් කොතෙක් තිබුණත්, ඉතා සරලම කාරණය නම් 2015 දී බලයට පත් යහපාලන ආණ්ඩුව තම පළමු දින සියය ඇතුළත මෙකී මහා පරිමාණ මූල්‍ය වංචාව සිදු කර ඇති බවයි. ඒ සඳහා එම රජයේ ඉහළම තනතුර ද මහ බැංකු අධිපති ධුරය සඳහා පත්කළ සිංගප්පූරු පුරවැසි අර්ජුන් මහේන්ද්‍රන් ද සම්බන්ධ බව මුළු රටම දන්නා කාරණයකි.

මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙද්දී, එකී චෝදනාවේ ප්‍රධාන සැකකරු වූ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ මඟුල් ගෙදරකට සහභාගි වීමට ගියා ගියා ම ය, තවමත් ආවේ නැත. යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ඒ පිළිබඳ වගකීම දරන බව ප්‍රකාශ කළ නමුත්, අද වනතුරු ඔහු ඒ සඳහා නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කොට නැත. එය යහපාලන මූලධර්මයක් දැයි නොදනිමු.

යහපාලනය (Good Governance) ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් පිළිගන්නා පාලන ව්‍යුහයකි. එය ජනතාවට වග කියන, විනිවිද පෙනෙන පාලන ක්‍රමයක් වන අතර, රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ කෙසේ ද යන්න සහ මහජන සම්පත් කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න විස්තර කෙරෙන අන්තර්ජාතික සංවර්ධනය සම්බන්ධිත යෙදුමකි. එහෙත් එකී අන්තර්ජාතිකවාදී යහපාලන සංකල්පය මෙරට භාවිත වූයේ හොරකම, දූෂණය සහ වංචාව සමාජගත කිරීමට ය; රාජ්‍ය භාණ්ඩාගාරයේ ජාතික ධනය කොල්ලකෑමටය. ඒ හා සම්බන්ධිත පාර්ශ්ව අල්ලා නීති මඟින් කටයුතු කරන බවට ප්‍රකාශ වුව ද ඒ සියල්ල වචන බවට පත් වී තිබිණි.

මහ බැංකු වංචාව සිදු කළා පමණක් නොව, එවක පැවති ආණ්ඩුවේ ආශීර්වාදයෙන් හොරුන්ට රට පැනීමට ද අවස්ථාව හිමිව තිබිණි. කනගාටුවට කාරණය නම්: එකී දූෂිත මහ බැංකු අධිපතිවරයා විසින් අත්සන් කරන ලද මුදල් නෝට්ටු තවමත් ශ්‍රී ලාංකේය ජන සමාජයේ සංසරණය වීමය.

ජනමාධ්‍යයක් ලෙස අපට සිදුව තිබෙනුයේ ඉකුත් රජයන් විසින් කරන ලද දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳ තොරතුරු හෙළිදරවු කිරීම ය. දිනපතා හෙළිදරවු කිරීමට තරම් ප්‍රමාණවත් දූෂණ, වංචා, අක්‍රමිකතා රැසක් ඔවුන් විසින් සිදු කොට තිබේ. එහෙත් මේවා හෙළිදරවු කිරීමෙන් සහ හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගොස්, චුදිතයන්ට දඬුවම් දීම ඉක්මනින්ම සිදු විය යුත්තකි. ඒ සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග සකස් කිරීම හා කඩිනම් කිරීම බලධාරීන් සතු වගකීමකි. නැත්නම් සිදු වන්නේ මේවා වාර්තාකරණයෙන් පිළුණු වූ පුවත් බවට පත්වීම පමණකි.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට වසර දහයක් ගතවනතුරුත් එහි චුදිතයන් හඳුනා ගැනීම සහ දඬුවම් කිරීම පමා වී ඇත්තේ කවර හේතුවක් නිසා දැයි සොයා බැලිය යුතුය. සොයා බලා, ඒ පිළිබඳ නිශ්චිත ක්‍රියාමාර්ග කඩිනමින් ගතයුතු ය. නැත්නම් අපට සිදු වනුයේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට වසර දහයයි, පහළොවයි, විස්සයි යනුවෙන් ඒ සම්බන්ධ වාර්ෂික සැමරුම ගණනය කරමින් සිටීමට පමණකි.

ඒ කවර තත්ත්වයකදී වුව ද, සමාජ, දේශපාලනික සන්නිවේදන කටයුත්තකදී ‘බැඳුම්කරය’ යනු හොරකමට පර්යාය පදයක් වීම නම් වැළැක්විය නොහැකි වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT