Home » අය-වැය ප්‍රතිපාදන ඵලදායීව-සාධාරණව යොදවන්න

අය-වැය ප්‍රතිපාදන ඵලදායීව-සාධාරණව යොදවන්න

- අමාත්‍යාංශ ලේකම්වරුන් හමුවේ ජනපති කියයි

by sachintha
February 27, 2025 1:00 am 0 comment

සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අය-වැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බැවින් එම මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යොදවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා (25) පැවැති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරිණි.

රාජ්‍ය සේවයේ වියදම් අඩු කිරීම සඳහා රජයේ කාර්යාල සියල්ල රජයේ ගොඩනැඟිලිවලට ගෙන ඒම, ඉහළ නඩත්තු වියදමක් සහිත අමාත්‍යාංශ සතු වාහන මාර්තු මාසය වන විට වෙන්දේසි කිරීමට සැලසුම් කිරීම, භාවිත නොකරන කාර්යාල උපකරණ ඉවත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

වසා දැමිය යුතු ආයතන, ඒකාබද්ධ කළ යුතු ආයතන සහ රාජ්‍ය පෞද්ගලික හිමිකාරීත්වයට ලබාදිය යුතු ආයතන හඳුනාගෙන ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු දේශපාලන අධිකාරිය වියදම් අඩු කර ඇති බැවින් රාජ්‍ය ආයතනවල පරිපාලන වියදම් අඩු කිරීම සහ නාස්තිය අවම කිරීම රාජ්‍ය සේවයේ වගකීම බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. වියදම් කළමනාකරණයේදී රාජ්‍ය නිලධාරීන් නිසි වගවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, රාජ්‍ය සේවය තුළ පවතින අකාර්යක්ෂමතාව ඊට හේතුව වී ඇති බව මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම රාජ්‍ය සේවකයන් තුළ ඇති රැකියා අතෘප්තිකාරී බවද රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට හේතුවී ඇති බවත්, එම ගැටලු විසඳමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT