Home » ඝාතකයන්ට ගැහැනු ආදරේ ඇයි?

ඝාතකයන්ට ගැහැනු ආදරේ ඇයි?

by Gayan Abeykoon
February 26, 2025 1:47 am 0 comment

කුත් සතිය වඩාත් වැදගත් වූයේ ඝාතන දාම රැල්ලක් මෙන් පාතාලය විසින් පුද්ගල ජීවිත කිහිපයක්ම බිල්ලට ගැනීමයි. මේ අතරින් වඩා වැදගත්ම සිදුවීම ලෙසින් සමාජය විසින් කතා බහ කරනු ලැබුවේ ගණේමුල්ල සංජීවගේ ඝාතනයයි. දින කිහිපයකට පෙර මිද්දෙණියෙදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඝාතන සිදුවීම ද, මෙයින් යම්තාක් දුරට යටපත් විය. 

කොටහේනේදී සිදුවූ පුද්ගල ඝාතනය ද යම් තරමකට කතාබහ වෙමින් පවතින්නේ අල්ලාගත් පුද්ගලයන් දෙදෙනාම පසුගිය කාලයේදී මෙන් ආයුධ පෙන්වීමට රැගෙන ගොස් ඝාතනය වීම නිසා ය. මේ සියල්ල සමඟින් ජන මතය ගොඩනැඟී ඇත්තේ සාක්ෂි විශාල ප්‍රමාණයක් අතුරුදන් කෙරෙන ඝාතනයන් ලෙසිනි. මෙවන් පසුබිමක යම් තරමකින් හෝ තොරතුරු අනාවරණය කර හත හැකි වන්නේ ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුගෙන් පමණි. ඒ කරුණු කෙසේ වුවද අලුත්කඩේ උසාවියේදී සිදුවූ වෙඩි තැබීම බහුතරයක් දෙනා අතර කතාබහට ලක්වූයේ එය චිත්‍රපටයක සිදුවන සිදුවීම් මාලාවක් මෙන් විකාශය වීම නිසා ය.  නීතිඥයකු ලෙස උසාවිය තුළට පැමිණීම,  අපරාධ සංග්‍රහය තුළ පිටු කපා දමමින් රිවෝල්වරය සඟවාගෙන යාම, නීතිඥ හැඳුනුම්පත් සකස් කර තිබීම ආදිය බටහිර චිත්‍රපටයක මෙන් සූදානමකි. එම කරුණු ද සමඟින් බොහෝ දෙනකු නතර වූයේ ඝාතකයා අසළ ය.

ඕනෑම ඝාතනයක් සිදු වූ විට ඝාතනයට ලක්වූ තැනැත්තා පිළිබඳ බහුතරයක් දෙනා අවධානය යොමු කරනවා පමණක් නොව ඔහුගේ පෙර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද කරුණු කාරණා සොයා බැලීමට උනන්දුවක් දක්වයි.  මේ අතරම ඔහුව වීරත්වයට පත්වීම ද සිදුවෙයි. එහෙත් අලුත්කඩේ උසාවියේ වෙඩි තැබීමත් සමඟ සිදුවූයේ අනෙකකි. එනම් ඝාතකයාගේ හැසිරීම මෙන්ම ඔහුගේ තාරුණ්‍යය පිළිබඳව ද බොහෝ දෙනා මාතෘකා කරගෙන තිබීම ය. ඒ අතරින් දැකගත හැකිවූ විශේෂිතම කරුණ වූයේ කාන්තා පාර්ශ්වය ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් කිරීම ය. මෙවන් වූ කාරණා අප රට තුළ පමණක් නොව විදේශීය රට තුළද සිදුවන බව  පෙනෙන්නට තිබේ. එපමණක් නොව පසුකාලීනව මෙම ඝාතකයන් සමඟ කාන්තාවන් විවාහ  වූ බව ද සඳහන් කරන්නේ අධිකරණ වෛද්‍ය මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන කැතරින් රැම්ස්ලන්ඩ් ය. ඇය මෙවැනි ආකාරයේ සිදුවීම් පිළිබඳව කරුණු අනාවරණය කිරීමට සමත් විය. මෙවැනි ඝාතකයන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන කාන්තාවන් සැලකිය යුතු ආකාරයේ කැපකිරීම් කිරීමට පවා සූදානම් ය. තම සන්තක සියලු දේ ඔවුන් වෙනුවෙන් වියදම් කිරීමට පවා එවැන්නන් පැකිළීමක් නොදක්වයි. එමෙන්ම මේ සියලු දෙනා සිරගෙදර සිටින තම පෙම්වතා හමුවීමට යාම වෙනුවෙන්  රැකියාව සහ ඔවුන්ගේ පවුල් ජීවිත පවා අතහැර දැමීමට සූදානමින් සිටින බව රැම්ස්ලන්ඩ් පෙන්වාදෙයි.  අලුත්කඩේ උසාවියේ වෙඩික්කරු සම්බන්ධයෙන් ඇතිවූ ආකර්ෂණය තුළද සිදුවූයේ එවැන්නකි.

කාන්තාවන් සම්බන්ධයෙන් පමණක් නොව පුරුෂ පක්ෂය තුළද මෙවැනිම ආකාරයේ ප්‍රියතාවක් ඇතිවිය හැකි අතර එය බොහෝ විට සිදුවන්නේ වීරත්වය ආරෝපණයක් ද සමඟිනි. සැඟව ඝාතනයක් සිදුකරනවාට වඩා දෙනෝදාහක් ගැවසෙන උසාවි භූමියට පැමිණ චිකාගෝ පන්නයේ වෙඩිතැබීමක් සිදුකිරීමම ඔවුනට මහා දෙයකි. මෙම සිදුවීමෙන් පසු සිදුවූ කොටහේනේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් කරුණු හුවා දැක්වුවද, එම ඝාතනයට අදාළව ඝාතකයන්ගේ  ප්‍රියමනාප බව පිළිබඳව කිසිවකුත් අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ ගත් බවක් නොපෙනිණි. එය ප්‍රියමනාපභාවයේ මෙන්ම වීරත්වය පිළිබිඹු කිරීමේ මදභාවය සම්බන්ධයෙන් වූ ගැටලුවක් විය හැකිය.

මනෝ චිකිත්සකයන් සඳහන් කර සිටින්නේ ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් කෙරෙහි කාන්තාවන් ආකර්ෂණය වීම සඳහා කරුණු කිහිපයක් බලපානු ලබන බවයි. ඝාතකයන් සම්බන්ධයෙන් කාන්තා ආකර්ෂණය ජනප්‍රිය සංස්කෘතිය තුළදී හඳුන්වනු ලබන්නේ “බොනී සහ ක්ලයිඩ් සින්ඩ්‍රෝමය” ලෙසිනි. එයම Hybris tophilia ලෙසින් හඳුන්වන අතර එය විවිධ ආකාරයේ අපරාධ සඳහා එළඹ සිටි පුද්ගලයන් කෙරෙහි යොමුව ඇති අවස්ථාවන් ද දැකිය හැකිය.

කෙසේවුවද ඝාතකයන් සමඟ සම්බන්ධතා පවත්වන කාන්තාවන් පිළිබඳව කැතරින් රැම්ස්ලන්ඩ් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටින්නේ මෙවැනි පුද්ගලයන් කෙරෙහි ආකර්ෂණය වන කාන්තාවන් වයස අවුරුදු තිස් ගණන්වල හෝ හතළිස් ගණන්වල පසුවන්නන් බවයි. එවැනි පිරිස් සමඟ සමීප ආශ්‍රයන් පවත්වාගෙන යන කාන්තාවන් තමා ඔවුන්ගෙන් තමන් වෙත දැඩි ආරක්ෂාවක් ගෙන එනු ඇතැයි  යන හැඟීමෙන් නිරන්තරයෙන් පසුවන බවත්, ඔවුනට විරුද්ධව කවර ආකාරයේ සාක්ෂි පැවතිය ද එම කාන්තාවන් තමාට ආකර්ෂණය වූ පුද්ගලයන් සාධාරණීකරණය කරගන්නා බවත්, ඇය පෙන්වාදෙයි.

කැතරින් රැම්ස්ලන්ඩ් තම අවධාරණය කිරීම් සඳහා ඝාතකයන් සමඟ විවාහ වූ කාන්තාවන් කිහිපදෙනකු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරයි. ඇය පවසන ආකාරයට අමෙරිකාවේ  ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කාන්තාවන් තිදෙනකු දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් 10 වතාවක් වරදකරුවකු වූ ට්‍රක් රථ රියැදුරකු වන බොලින් සමඟ කාන්තාවක් විවාහ වීමට පවා කටයුතු කළාය. මරණ දඬුවම් දෙකක් මත ඔහුව ජීවිතාන්තය දක්වා සිරගත කළද ඔහුට පෙම් කරන ලද කාන්තාව කියා සිටියේ ඔහුගේ තනිකම සහ හුදකලාව තමාට තදින් දැනුණු බවයි. ඇය කිසිදු විටක බොලින් නම් ට්‍රක් රථ රියැදුරා මිනීමරුවකු නොවන බව විශ්වාස කරමින් කටයුතු කළාය.

මේ අනුව බොහෝ දෙනකු ගණේමුල්ල සංජීවගේ ඝාතකයා සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කර ඇත්තේ තමා නොදැනුවත්වම හෝ යටි සිතින් මතුව ආ Hybris tophilia තත්ත්වය මත බව අපට සිතන්නට සිදුවේ. එනම් අපරාධ කරන්නවුන් සම්බන්ධයෙන් ඇතිවන මෙම ලිංගික උනන්දුව සහ ආකර්ෂණය යම් අවස්ථාවක විවිධ ආකාරයේ අපරාධ ක්‍රියාකාරකම් සඳහා බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සම්බන්ධව වුවද ඇතිවිය හැකිය. මෙය තවදුරටත් සාක්ෂාත් කරගත හැකිවන්නේ සංජීවගේ ඝාතකයා හමුවනතුරු සමාජ මාධ්‍ය තුළ නොතිබූ ප්‍රකාශයන් ඔහු හමුවීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලයට එකතුවීමෙනි. මේ මොහොත වනවිටත් ගණේමුල්ල සංජීවගේ ඝාතකයා ජනප්‍රිය මට්ටමේ පුද්ගලයකු වී හමාර ය. ගණේමුල්ල සංජීව දශකයකටත් එහා කාලයක සිට කළ අපරාධවලින් ඔහුව හඳුනාගත් නමටත් වඩා ජනප්‍රියත්වයක් විනාඩි කිහිපයක ක්ෂණික මෙහෙයුමකින් ලබාගන්නට ඔහුව ඉලක්කකරගත් වෙඩික්කරු සමත් විය.  ඒ අන් කිසිවක් නිසා නොව, පිටස්තර සමාජය තුළ  පැවති Hybris tophilia තත්ත්වය හේතුවෙනි. ඝාතකයා ප්‍රේමවන්තයා වන්නේ එහෙයිනි.

රජිත බස්නායක ✍

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT