ආදරය හා වෛරය අතර ඇත්තේ කෙස් ගසක පරතරයක් බවට ගැමි කියමනක් තිබේ. ගැමියන් මනෝ විශ්ලේෂණය හෝ සිග්මන් ප්‍රොයිඩ් හෝ නොදන්නා නමුත් මනෝ විශ්ලේෂණාත්මක අර්ථයකින් බැලුවද, මෙහි යම් සත්‍යතාවක් නැතුවා නෙවෙයි.
පුද්ගලික ආදර සම්බන්ධතාවලදී පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම දේශපාලනික කාරණාවලදීද මෙම තත්ත්වය බලපැවැත්වෙයි. දේශපාලනයේදී බටහිර අනෙකා කර ගනිමින් විරෝධය දක්වා තමන්ගේ ජාතිමාමකත්වය ප්‍රදර්ශනය කරන්නට තැත් කරන බොහෝ දෙනෙක් ඇත්ත ජීවිතයේ උත්සාහ කරන්නේ හොර පාරකින් හෝ බටහිරට පැන ගන්නට ය. තමන්ගේ දරුවන් එකී රටවලට යවා හොඳ අධ්‍යාපනයක් දෙන්නට ය. සිංහල ජාතිවාදී චින්තකයකු වූ මහැදුරු නලින්ද සිල්වාට අමෙරිකා එක්සත් ජනපදයේදී අවසන් හුස්ම හෙළන්නට සිදුවීමත්, ඔහුගේ භෂ්මාවශේෂ ටික පවා එහිදීම මිහිදන් කරන්නට සිදුවීමත් මෙකී සත්‍ය සංකේතවත් කරන එක් සංසිද්ධියක් පමණි.
මේ දිනවල ප්‍රතිවාදී දේශපාලන වේදිකාවේ ඇසෙන ජනප්‍රිය කතාවක් වන්නේ ට්‍රම්ප්ගේ පුනරාගමනය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපද ආධාර (USAID) නැවතීම හා එහි බලපෑමයි. එන්.ජී.ඕ දේශද්රෝහීකරණය කිරීමට දරන උත්සාහයයි. එහෙත් ඔවුන් නොදන්නේ තමන්ගේ ‘ජාතිකවාදී’ යයි කියන දේශපාලනයයි, ට්‍රම්ප්ගේ භාවිතයයි දෙකක් නොව එකක්ම බවයි. එනම් අමෙරිකාවට එරෙහි වන අතරේම තමන් ට්‍රම්ප්ට කෙතරම් ආදරේද යන්නයි. සැබවින්ම එහි කෙස් ගහක තරමේ හෝ පරතරයක් ඇත්තේ නැත.
සිංහයින් සමඟ දඩයමේ යන ගමන් හාවුන් එක්ක සෙල්ලම් කිරීම පරස්පර විරෝධී භාවිතාවක් බැව් සැබෑ ය. එසේ වුව අමෙරිකාවට එරෙහි වන අතරේ ට්‍රම්ප්ගේ කරට අත දා ගැනීම කිසිදු ගැටලුවක් නොවේ. එහෙත් ඒ අපට නොව බංකොළොත් දේශපාලන හිඟන්නන්ට ය.