Home » හල්ලොලුවේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමක්

හල්ලොලුවේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමක්

- කාන්තාවෝ දෙදෙනක් රෝහලේ

by sachintha
February 26, 2025 2:12 am 0 comment

ළමුන් පිරිසක් කම්පනය හේතුවෙන් රෝහලට

නවෝද්‍යා පාසල වසා දමයි

කටුගස්තොට, හල්ලොලුව ප්‍රදේශයේ පිහිටි ගිනිකෙළි කර්මාන්ත ශාලාවක ගොඩනැඟිල්ලක ඇතිවූ පිපිරීමක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති අතර එම පිපිරීම ඇති වූ අවස්ථාවේ එහි සේවය සඳහා පැමිණ සිටි කාන්තාවන් දෙදෙනකු පිලිස්සීම් තුවාල හා ඇතිවූ කම්පන තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ. මෙසේ රෝහල්ගත කර ඇත්තේ හල්ලොලුව රණවිරු මාවතේ පදිංචි කාන්තාවක් හා වරාතැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

පෙරේදා (24) පෙරවරු 07.30ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙන අතර පිපිරීම නිසා හටගත් අධික ශබ්දය හේතුවෙන් මෙම කර්මාන්ත ශාලාව ආසන්නයේ පිහිටි හල්ලොලුව නවෝද්‍යා මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පස් දෙනෙකුද, ඇති වූ කම්පන තත්ත්වයක් නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහල කරා රැගෙන ගොස් තිබේ. ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගත් කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් පෙරේදා (24) පෙරවරුවේ නාවෝද්‍යා මහා විද්‍යාලයද වසා දැමීමට පියවර ගෙන තිබුණි.

පිපිරීම නිසා ගිනි ගැනීමට ලක්වූ ගොඩනැඟිල්ල තුළ රතිඤ්ඤා සෑදීම සඳහා බට සකස් කරන බවත්, ගබඩාව තුළ අහස්කූරු 1000ක් පමණ ගබඩා කර තිබී ඇත. වෙඩි බෙහෙත් ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් තිබූ බවත්, කර්මාන්ත ශාලාවේ දෛනිකව 12 දෙනෙකු පමණ සේවය කරන බවත්, පිපිරීම සිදුවූ අවස්ථාවේ එම ගොඩනැඟිල්ල ආසන්නයේ සේවයට පැමිණි කාන්තාවෝ තිදෙනකු පමණක් සිටි ඇති අතර ඉන් දෙදෙනකු පමණක් මෙසේ තුවාල ලබා රෝහල්ගත කළ බව කර්මාන්ත ශාලාවේ කළමනාකාරවරයා අප සමඟ පැවසීය.

මෙම පිපිරීම හා ගින්න හේතුවෙන් ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබුණත් එම ගොඩනැඟිල්ල ඉදිරිපිට තිබෙන බුද්ධ මන්දිරයේ තැන්පත් කර තිබෙන පිළිම වහන්සේට කිසිදු හානියක් සිදුව නොමැත.

කර්මාන්ත ශාලාවේ ඇති වූ පිපිරීම නිසා ඇතිවූ අධික ශබ්දය අවට ප්‍රදේශවලටද තදින් දැණුනු බවත් ප්‍රදේශවාසිහු පැවසීය. පිපිරීම නිසා හටගත් ගින්න මහනුවර නාගරික ගිනි නිවන ඒකකය විසින් නිවා දැමූ අතර මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලීසිය විසින් සිදුකරනු ලබයි.

කටුගස්තොට සමූහ – එස්.ජී. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT