මහ වැසිත් සමඟ පසුගිය වසරේ නැවති ගිය පුත්තලම දිස්ත්‍රික්කයේ ලුණු නිෂ්පාදනය යළිත් පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ ආරම්භ කිරීමට හැකිවූ බව පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බදුර්දීන් රනිස් මහතා ඊයේ (25) පැවසීය.
නොකඩවා පසුගිය වසරේ ඇද හැලුණු මහ වැසිත් සමඟ ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය සම්පූර්ණයෙන් නැවතී ගොස් තිබූ අතර ඒ හේතුවෙන් රටේ ලුණු අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමට රජයට පසුගිය වකවානුවේ සිදුවිණි.
“මහ වැසිත් සමඟ පුත්තලම ලුණු නිෂ්පාදනය සම්පූර්ණයෙන් නැවතී ගියා. ඒ නිසා එම කර්මාන්තයේ නිරතව සිටි 1000කට වැඩි නිෂ්පාදකයෝ අසරණ වුණා. ඒ විතරක් නොවේයි. මේ කර්මාන්තය හරහා වක්‍ර ලෙස රැකියාවල නිරත වූ දස දහසකට වැඩි පිරිසක් (10,000) අන්ත අසරණ වෙලා සිටියේ තම රැකියාවල් අහිමි වීමෙන්.
ලුණු පාත්ති සැකසීමේ ඉඳන් අස්වැන්න නෙළනකම් විතරක් නොවෙයි, ලුණු පැකට් කරලා වෙළෙඳසල් වෙත ප්‍රවාහනය කරන අවස්ථාව දක්වා විශාල රැකියා සංඛ්‍යාවක් ඍජූ හා වක්‍ර ලෙස සැකසී තිබුණා. නමුත් එම රැකියා සියල්ලම පසුගිය වසරේ නැවතී යාම එම රැකියාවල නිරත වූ පිරිසට බරපතළ ගැටලුවක් වුණා. නමුත් සියලුදෙනාටම යළි රැකියාවල් ලැබීම සිදුවෙමින් පවතිනවා. අපි හිතනවා අපිට මෙට්‍රික් ටොන් පන්දහසක (5000) අස්වැන්නක් සති දෙකකින් පමණ ලබා ගැනීමට හැකි බවත්.
ඒ වාගේම අපේ බලාපොරෝත්තුව මෙට්‍රික් ටොන් දස දහසක් (10,000) දක්වා එය වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බවත්, ශ්‍රී ලංකාවේ සමස්ත ලුණු අස්වැන්නෙන් 45%කට වැඩි දායකත්වයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් ලබා දීම සිදුව තිබූ අතර එය ඇතැම් වසරවලදී 50% ඉක්වමා තිබූ බව පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බදුර්දීන් රනිස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ